(ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, මිනිස් පටක බැංකුව සහ eChannelling සමාජ සත්කාර ව්‍යාපෘතිය)
ශරීර කොටස් දන්දීම යනු ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ සුලභව අසන්නට ලැබෙන දෙයක් වුවද බොහෝවිට අපගේ සිහියට නැගෙනුයේ ඇස් සහ ලේ දන්දීමයි. නමුත් අක්ෂිදාන සංගමය යටතේ ක්‍රියාත්මකවන මිනිස් පටක බැංකුවේ ආරම්භයත් සමඟ අස්ථි, හෘද කපාට වැනි ශරීර කොටස් දන්දීම සඳහාද ඔබට අවස්ථාව ලැබී ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඔබට අන්තර්ජාලය හරහාද මුළු ශරීරයම දන්දීම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාවක් ලැබීමයි.මේ සඳහා Mobitel ආයතනය යටතේ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාවේ විශාලතම වෛද්‍යවරුන් චැනල් කිරීමේ ජාලයවන eChannelling ආයතනය තාක්ෂණික දායකත්වය ලබාදී ඇත. මේ අනුව www.echannelling.com වෙබ් අඩවිය වෙත පිවිසෙන ඕනෑම අයෙකුට ඇස් සහ පටක දන්දීම සඳහා ලියාපදිංචි වියහැක.
මිනිස් පටක බැංකුවේ ජේෂ්ඨ කළමණාකරු හේමක ද මෙල් මහතා මෙසේ කියයි.
කෙනෙකු මියයාමෙන් පසු ලබාගන්නා ඇස් සහ පටක අසරණ රෝගීන් හට නොමිලයේ ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
“1960 දී ආරම්භවූ ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය තම සේවාවන් තවත් පුළුල් කරමින් 1996 වසරෙදී මිනිස් පටක බැංකුව ආරම්භ කරන ලදී. ඇස් හා පටක දන්දීම සඳහා දායකයන් ලියාපදිංචිකරගැනීම බොහෝ දුරට සිදුකරනු ලැබුවේ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මකවූ වැඩසටහන්වලදී මුද්‍රිත පෝරමයක් පිරවීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ඔස්සේය. නමුත් eChannelling ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම අන්තර්ජාලය ඔස්සේ දායකයන් ලියාපදිංචි කරගැනීමේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස ඇස් සහ ශරීර කොටස් දන්දීමට කැමති බොහෝ පිරිස් අතර ප්‍රචලිත වෙමින් පවතිනවා. කෙනකු මියයාමෙන් පසු ලබාගන්නා ඇස් හා ශරීර කොටස් නවීන තාක්ෂණය භාවිතයෙන් විශේෂ ක්‍රමවේදයන්ට අනුව සුරක්ෂිතව තැන්පත්කර අස්ථි පිළිකා, හදිසි අනතුරු ආදිය නිසා අසරණ වන බොහෝ රෝගීන් සඳහා නොමිලේ ලබාදීම අප ආයතනය මගින් සිදුවෙනවා. මෙම උතුම් සමාජ සත්කාරයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා දීම පිළිබඳව eChannelling ආයතනයට අපගේ කෘතඥතාව හිමිවෙනවා.