2017 මාර්තු 04 වන සෙනසුරාදා

දුම්රිය ස්ථාන තුන්සියයක මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

මුදල් තැන්පත් කිරීමේ, ආපසු ගැනීමේ හා බිල්පත් ගෙවීමේ පහසුකම් ඇති මහජන බැංකුවේ අති නවින ස්වයං බැංකුකරණ ඒකක දිවයින පුරා දුම්රියපොළ ස්ථාන 300 පිහිටුවීමේ වැඩපිළිවෙළට අත්සන් තැබූ අද දිනය, ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේත්,  මහජන බැංකුවේත් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන දිනයක් යැයි  ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය. ශ‍්‍රී ලංකාවේ මෙතෙක් කිසිදු ස්ථානයක සවිකොට නොමැති අති නවීන තාක්ෂණයෙන් සපිරි ස්වයං බැංකුකරණ ඒකක 300ක් දුම්රියපොළ ස්ථාන 300ක සවිකිරීමෙන් මහජන බැංකුවටත්,  දුම්රිය දෙපාර්තමේන්තුවටත් පොදුවේ රටේ පොදු ජනතාවටත් සුවිශාල සේවා පහසුකමක් සැලසෙන බවද ප‍්‍රවාහන සිවිල් ගුවන් සේවා ඇමතිවරයා කීය. 

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා  මහතා මේ අදහස් ප‍්‍රකාශ කළේ මහජන බැංකුවේ නව ස්වයං බැංකුකරණ ඒකක 300ක් දුම්රිය ස්ථාන වල ස්ථාපිත කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ සඳහා ද්විපාර්ශික ගිවිසුමට පසුගියදා බත්තරමුල්ල පිහිටි ප‍්‍රවාහන අමාත්‍යාංශයේදී අත්සන් තැබීමේ උත්සවයට එක්වෙමිනි. 
ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී මෙසේද කීය.

මේ රටේ ජනතාව ඩිජිටල් තාක්ෂණය සමඟ ඉදිරියට යමින් ඉන්නේ. අපට තවම 18 වැනි ශතවර්ෂයේ ඉන්නට බැහැ. පැරණි විදිහට මුදල් ගණන් කර කර, මිටි බැඳ බැඳ ඉන්න බැහැ. ඒවා ඔක්කොම එකතු කරලා සංරක්ෂිතව, කාර්යක්ෂමව, කඩිනමින්, සැනින් බැංකු වෙත යවන වැඩ පිළිවෙළකට අපි යන්න  ඕනෑ. ජනතාවට සුරක්ෂිත ඒවාගේම නවීන තාක්ෂණයට අනුව මුදල් ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය අපි සකස් කරලා දෙන්න ඕනෑ.  රාජ්‍ය අංශයේ බැංකුවක් වන මහජන බැංකුව අද අප සමඟ අත්වැල් බැදගෙන නව තාක්ෂණය අපේ මඟී ජනතාවට උරුම කරදීමට ඉදිරිපත්වීම අගය කරනවා. ඒ පිළිබඳව අපි රජයක් හැටියට මහජන බැංකුවේ සැමට ස්තූතිය පුදකරන්න කැමතියි. මේ නව වැඩපිළිවෙළ දුම්රිය මඟීන්ට උත්තේජයක් බවට පත් වෙයි කියා අපි සිතනවා.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙසේ කීය.
අද දුම්රිය දෙපාර්තමේන්තුවට වාගේම අපේ මහජන බැංකුවටත් ඵෙතිහාසික අවස්ථාවක්.  දුම්රිය මඟීන්ගේ පහසුව සඳහා අපි අද දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කිරිමටයි පියවර ගන්නේ. අපි මේ සවිකරන්නේ අති නවීනතම තාක්ෂණයෙන් යුතු ලංකාවේ පළමුවරට හඳුන්වාදෙන ස්වයංක‍්‍රීය මුදල් ගැනීමේ හා තැන්පත් කිරීමේ  යන්ත‍්‍ර.  ඒ වාගේම විදුලි,  ජල,  දුරකථන බිල්පත් ගෙවීමට හැකි පහසුකම් තිබෙන ස්වයංක්‍රිය Kiosk යන්ත‍්‍ර සවි කරනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී.ආරියරත්න මහතා 
අද ඉතාම සතුටුදායක දවසක්.  අපිත්,  මහජන බැංකුවේ නිලධාරිනුත් අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර, ඉතාම වැදගත් තීරණයකට ඇවිත් නව දැවැන්ත වැඩ පිළිවෙළක් තමයි මේ ආරම්භ කරන්නේ.  
දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවා පහසුකම් කාර්යක්ෂමව දුම්රිය පළේදී සිදුකරන්නට මින් හැකියාව ලැබෙනවා.
මේ අවස්ථාවට ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර් යන මහත්වරු ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.