2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

NDB 2016 වර්ෂය සඳහා ආයෝජක හමුව පවත්වයි

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

ජාතික සංවර්ධන බැංකුව (NDB) පීඑල්සී 2016 වර්ෂයේදී දක්වන ලද මුල්‍ය කාර්යසාධනය ඉදිරිපත් කරමින් ‘ආයෝජක හමුවක්’ පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී පවත්වන ලදී.

මේ අවස්ථාවට ආයෝජකයන්, ආයෝජන උපදේශකයන්, කොටස් තැරුව්කරුවන්, අරමුදල් කළමනාකරුවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ. එහිදී ඔවුන් වෙත NDB සමූහයේ මුල්‍ය කාර්යසාධනය සහ ඉදිරි සැලසුම්ගත ක‍්‍රමෝපායන් පිළිබඳව දැනුවත්භාවය ලබා දෙන ලදී.

NDB සභාපති ආනන්ද අතුකෝරළ, NDB අධ්‍යක්ෂ / ප‍්‍රධාන විධායක නිලධාරී - දිමන්ත සෙනෙවිරත්න, NDB සමූහ ප‍්‍රධාන මුල්‍ය නිලධාරී - ෆයිසාන් ඔස්මාන් සහ NDB කැපිටල් හෝල්ඩිංග්ස් ප‍්‍රධාන විධායක නිලධාරී - වජිර කුලතිලක යන මහත්වරැන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම ආයෝජක හමුව පැවැත්විණි.  

NDB ප‍්‍රධාන විධායක නිලධාරීවරයා මෙහිදී ‘සංවර්ධනය ඉලක්කගත වාණිජ බැංකුකරණය’ වැනි පාරිභෝගික සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයන්හි ක‍්‍රමිකව ඉදිරයට යාමට හැකියාව ලබාදෙන සුවිශේෂ ව්‍යාපාරික යෝජනා මත පදනම් වෙමින්, ප‍්‍රාග්ධන සහ ආයෝජන බැංකුකරණ අංශයෙහි අලෙවි අවස්ථාවන් මනාව ප‍්‍රාග්ධනීකරණය කරමින් ඉදිරියට යාමට හැකියාව ලබාදෙන NDB සතු වැදගත් ශක්තීන් පිළිබඳව අවධාරණය කර සිටියේය. ප‍්‍රමිතිගත වත්කම් පදනම, ඉහළ පුහුණුවක් සහිත කාර්යමණ්ඩලය සහ අතීතයෙන් උගත් පාඩම් ඔස්සේ බැංකුව ඉදිරියට යාම සඳහා අවශ්‍ය  සවිබලය ලබා දෙන බවද ඔහුගේ අදහස් දැක්වීමේදී ප‍්‍රකාශ විය.

දිනෙන් දින ව්‍යාප්තවන තම ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක විහිදුණු මූල්‍ය සේවා ලබා දෙමින් තම පාරිභෝගිකයින්ගේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කරගන්නට NDB කැපවීමෙන් කටයුතු කරයි.