ශ්‍රීලංකන් ගුවන් සමාගම තමිල්නාඩු ප්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරය වන කොයින්බටූර් වෙත සිය ගුවන් මෙහෙයුම් ජූලි මස 16 වැනිදා සිට අරඹන ලදී. මේ අනුව ගුවන් සමාගම කොයින්බටූර් වෙත සතියකට ගුවන් ගමන් වාර 4ක් සිදුකිරීමට කටයුතු කිරීමෙන් කොයින්බටූර් හි ගුවන් මගීන්ට ශ්‍රීලංකන් ගෝලිය ගුවන් ගමන් ජාලය හරහා ලෝකය වෙත සම්බන්ධ වීමට අවස්ථා රැසක් උදාකර දෙනු ඇත.
ශ්‍රීලංකන් මෙහෙයුම් සිදුකරන දකුණු ඉන්දීය නගර 3 අතර එක් ගමනාන්තයක් ලෙස කොයින්බටූර් හැඳින්විය හැකි අතර ගුවන් සමාගම අනෙක් නව ගමනාන්ත වන විසාකාපට්නම් (ජූලි මස 8 වැනිදා) සහ හයිද්‍රාබාද් (ජූලි මස 12 වැනිදා) වෙත නව ගුවන් ගමන් මේ වන විට ආරම්භ කර ඇත. මෙම නව ගමනාන්ත සමගින් ශ්‍රීලංකන් ඉන්දියාවේ ගමනාන්ත 14ක් වෙත ගුවන් ගමන් 126ක් සිදුකරමින් චෙන්නායි, තිරිවනාතපුරම්, තිරුචිරප්පල්ලි, මුම්බායි, නවදිල්ලිය, බුද්ධගයාව, මදුරෙයි, වරණාසි, කොචින්, බැංගලෝරය සහ කල්කටා වෙත සිය ගුවන් මෙහෙයුම් ව්‍යාප්ත කර ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ තමිල්නාඩු ප්‍රාන්තයේ සුවිශේෂී නගරයක් වන කොයින්බටූර් වෙත අපගේ නව ගුවන් ගමන් ව්‍යාප්ත කිරිමට හැකිවීම පිළිබඳ ඉතා සතුටට පත්වන බවයි. මෙමගින් සංචාරකයින්ට වඩාත් පහසු ලෙස ගුවන් ගමන් සිදුකිරීමටත් ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ජාලය හා සම්බන්ධ වීමටත් හැකිවන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. නව ගමනාන්ත එක්වීම තුළින් රටවල් 2 අතර සබඳතා වඩාත් ශක්තිමත් වී විනෝද සංචාර, ව්‍යාපාර, MICE සංචාරක කර්මාන්තය, වන්දනා ගමන්, සෞඛ්‍ය අවශ්‍යතා සහ අධ්‍යාපනය සඳහා දෙරට අතර ගුවන් සංචාර වඩාත් ප්‍රවර්ධනය වනු ඇති බවද රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේය.
මේ අනුව කොයින්බටූර් හි සංචාරකයින්ට ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් සිදුකිරීමටත් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන රැසක් දැකබලා ගැනීමේ අවස්ථා ද උදාවනු ඇත. ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරක ගමනාන්ත අතර වේගයෙන් දියුණු වන රටක් බවට පත්වෙමින් සිටින යුගයක මෙම නව සංචාරක පැමිණීම් තවදුරටත් වර්ධනය වීමට හැකිවනු ඇත. ශ්‍රීලංකන් නව ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ කොයින්බටූර් හි ව්‍යාපාරික ප්‍රජාවට පහසු ලෙස ගුවන් භාණ්ඩ ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ජාලය හරහා ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබේ. දකුණු ඉන්දියාවේ රෙදිපිළි කර්මාන්තය, කාර්මික, වාණිජ, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය පහසුකම් සහ නිෂ්පාදනය සඳහා මධ්‍යස්ථානය වන්නේ ද කොයින්බටූර් නගරයයි.
සම්මානනීය ශ්‍රීලංකන් උණුසුම් ආගන්තුක සත්කාරය සහ නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතිය මෙම ශ්‍රිලංකන් සේවාව තුළින් ලබාදෙන සුවිශේෂී ලක්ෂණයන්ය. ගුවන් සමාගම විසින් අති නවීන එයාර්බස් ගුවන් යානා වන A320neo සහ A321neo කොයින්බටූර් වෙත මෙහෙයුම් සිදුකිරිම සඳහා යොඳවා ඇති අතර එමගින් දකුණු ඉන්දියාවේ මෙම නව ගමනාන්ත හා පියාසර කරන සංචාරකයින්ට නවමු ගුවන් ගමනක අත්දැකීම ලබාදීමටද ගුවන් සමාගම කටයුතු කර ඇත.