2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ශ‍්‍රී ලංකා ටෙලිකොම් 2018 දින දර්ශනයේ තේමාව සබැඳි ජීවන රටා

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:30 263

වර්ෂ ගණනාවක් පුරා මෙරට දිනදර්ශන අතර අර්ථවත් ලකුණ බවට පත්වන, ශ‍්‍රී ලංකා ටෙලිකොම් දිනදර්ශනය මෙවර (2018 වසර වෙනුවෙන්) ‘ශ‍්‍රී ලංකාවේ සබැඳි ජීවන රටාව’ යන තේමාවෙන් යුක්තව මෙරට විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ විකාශනය දක්වමින් නිර්මානය වී තිබේ. 

‘හෙට දින උදෙසා උරුමය සුරකිමින්’ යන දැක්මෙන් යුක්තව 2003 වසරේ සිට අඛණ්ඩව සහ ආවේණික හරයකින් යුක්තව ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි දිනදර්ශන නිර්මාණය වන්නට වූ අතර ඒ යටතේ ගෙවුණු කාලවකවානුවේ මෙරට ජෛව විවිධත්වය, කලාව හෝ සංස්කෘතිය ආදී ක්ෂේත්‍රයන් අතුරින් විෂයක් තේමා කරගනිමින්, ඒ පිළිබඳ හැඟීම සමාජගත වන සේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් විසින් සිය දිනදර්ශන ඉදිරිපත් කරන ලදි. මෙවර එම කැලැන්ඩරය, මෙරට ජනසමාජයේ සබැඳියාව වෙනුවෙන් මහත් කාර්යභාරයක් ඉටුකළ විදුලි සංදේශ ක්ෂේත්‍රයට හෙවත්, ශ‍්‍රී ලංකා ටෙලිකොම් ඉතිහාසයට වසර 160ක් සපිරීම නිමිති කරගනිමින් ඒ පැමිණි මඟ දක්වා සිටියි.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ඉතිහාසය සහ මෙරට විදුලි සංදේශ ඉතිහාසය යනු දෙකක් නොව එකක් වන අතර ශ‍්‍රී ලාංකේය ජන ජීවිතය තුළ අත්‍යවශ්‍ය සහ මහත් බලපෑමක් කළ හැකි අංගයක් බවට පත්වීම දක්වා එදා මෙදාතුර විදුලි සංදේශ ක්ෂේත්‍රය පසුකළ කඩයිම් සහ එහි විකාශය මෙම දිනදර්ශනයේ ඉතා සාධනීයවත් නිර්මාණාත්මකවත් ඉදිරිපත් කර ඇත. විශේෂඥ අනධ්‍යයන මණ්ඩලයක එකතුවෙන් සහ ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් ලෙසින් එළිදකින ශ‍්‍රී ලංකා ටෙලිකොම් දිනදර්ශනයේ සුපුරුදු පෞරුෂය සහ හරය තමන්ටම ආවේණික ඉතිහාස කථාවක් ඔස්සේ 2018 වසරට රැගෙන ඒමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට හැකිව තිබේ. එසේම පරිසරය සුරුකීම පිළිබඳ සිය දායත්වය පිළිබිඹු කරමින්, මෙම දිනදර්ශනය පරිසර හිතකාමී බවට සහතික කළ අමුද්‍රව්‍ය සහ තීන්ත යොදාගනිමින් නිෂ්පාදනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කටයුතු කිරීමද කැපී පෙනෙයි.

1857 වසරේ සිට 2017 වසර දක්වා ගෙවුනු වසර 160ක කාලපරිච්ඡේදය තුළ, කාලයෙන් කාලයට භාවිතාවට ගැනුණු දුරකථන වර්ග මෙන්ම එදිනෙදා ජීවිතයේ සහ ව්‍යාපාරික අංශයේ දුරකථන සේවාවේ යෙදීම වෙනස්වෙමින් පැමිණි ආකාරය මෙම දිනදර්ශනයේ  මනාව ඉදිරිපත් කර ඇත. ශ‍්‍රී ලංකාව ‘සිලෝන් ’ නමින් හැඳින්වෙන යුගයේ වර්ෂ 1858දී  කොළඹ සහ ගාල්ල අතර පළමු විද්‍යුත් ටෙලිග‍්‍රාෆ් පද්ධතිය පිහිටුවීමෙන් ඇරඹි මෙරට විදුලි සංදේශ ගමන්මගට ‘ටෙලිෆෝනය’ යන වදන එක්වූ එදවස, එය කන්ද උඩරට ධනයෙන් ආඪ්‍ය රදළයන්ගේ සුඛෝපභෝගී දිවිපෙවෙත සහ සමාජ මට්ටම විදහා දක්වන මෙවලමක් විය. වසර 160ක් පුරා පැමිණි ගමන් මග මාස 12කට ගොනු කර ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක් නොවේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර සහ සමාජවිද්‍යා පීඨයේ භාෂා සහ සංස්කෘතික අධ්‍යයන අංශයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ, එහි මානව විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප‍්‍රනීත් අබේසුන්දර, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ සහය කථිකාචාර්ය රවීන්ද්‍ර විතානාරච්චි, ශ‍්‍රී ලංකා ටෙලිකොම්හී විශ‍්‍රාමික නියෝජ්‍ය ප‍්‍රධාන නිලධාරී ඉංජිනේරු ලක්‍ෂ්මන් බාලසූරිය යන මහත්වරුන් සමග පුලතිසි එදිරිවීර, ප‍්‍රසාදිනී කුමාරි, ගාමිණී අබේකෝන් සහ අරැණ කේ. ගමගේ යන චිත‍්‍ර ශිල්පීන්ගේ එකතුවෙන් එම අභියෝගය සාර්ථකව ජයගෙන තිබෙන බව මෙන්ම ඉතිහාසය සිසාරා මනා අධ්‍යයනයක් කර ඇති බවද මෙම දිනදර්ශනයෙන් මනාව පිළිබිඹු වේ.