ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසින් නිපදවන කොවැක්සින් කොවිඩ් මර්දන එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතයට අනුමත කොවිඩ් මර්දන එන්නත් ලැයිස්තුව වෙත ඇතුළත් කර තිබේ.
ඉන්දියාවේ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉකුත් ජනවාරි මාසයේ සිට කොවැක්සීන් එන්නත භාවිත කළ අතර එරට පුද්ගලයින් මිලියන 105 කට පමණ මේ වනවිට කොවැක්සීන් එන්නත ලබාදී ඇත.
එම එන්නත ඉන්දියාව තුළ භාවිතයට අනුමත කළේ තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම් සිදුකෙරෙමින් පවතින අතරතුරය. ඒ හේතුවෙන් ඉන්දියාව ගත් තීරණය විවේචනයට ලක්වූ අතර බොහෝ පාර්ශ්වයන්ගේ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළේය.
කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගැනීම සඳහා අයදුම් කළේ ඉකුත් ජූලි මාසයේදීය. එම සංවිධානයේ විශේෂඥ මඩුල්ලක් විසින් එන්නත ගැන තවදුරටත් දත්ත ඉල්ලා සිටීම නිසා අවසන් තීරණය ලබාදීම මේ වනතුරු කල් ගියේය. ලෝක සෞඛ්‍ය සංවිධානය එම අනුමැතිය ලබාදුන්නේ කොවැක්සින් එන්නතේ අවාසිවලට වඩා වාසි වැඩි බව පවසමිනි. එම එන්නත වෛරසයට එරෙහිව 78%ක ඵලදායිතාවක් පෙන්නුම් කර ඇත.