2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

දේශගුණික අර්බුද සමුළුව තවත් අර්බුදයක

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 83

එක්සත් ජාතීන්ගේ දේශගුණික අර්බුද සමුළුව හෙවත් COP26 ඉකුත්දා  ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නගරයේදී ආරම්භ විය. COP26 සමුළුවේ සමාරම්භක කතාව පැවැත්වූයේ සත්කාරක රට වන එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් විසිනි. බ්‍රිතාන්‍යයේ ස්වභාව ඉතිහාසඥයෙකු වන ප්‍රකට පරිසරවේදී සහ වාර්තා චිත්‍රපට නිර්මාණකරු ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ මෙන්ම වේල්ස්හි කුමරුද මෙම සමුළුව පළමු දිනයේදී ඇමතූහ. මෙවර COP26 ඇරඹුණේ G20 සමුළුව අවසන් වූ දාට පසුදාය. මෙහිදී ලෝකයේ වඩාත්ම කාර්මිකරණයට ලක් වූ රටවල් විස්සේ කණ්ඩායම හෙවත් G20 ශුද්ධ කාබන් විමෝචනය වසර 2050 වනවිට නතර කිරීමේ පොරොන්දුව ලබාදීමට අසමත් වූහ.

අතිශය ප්‍රබල බලපෑමක් ඇති කරන ගෝලීය උණුසුම අධික වීම නතර කර ගැනීමේ තීරණාත්මක ‘අවසන් දිනය’ ලෙස සැලකුණේ 2050 වසරයි. එයට තව වසර 30 ක් තිබේ. ඒ හේතුවෙන් එම ඉලක්කය සපුරා ගැනීමට වඩාත් හොඳින් සිතා බැලූ ලෝක නායකයන් ප්‍රතිඥා දෙනු ඇතැයි විශ්වාසයක් පැවතිණි. නමුත් සිදුවූයේ අනෙකකි. ඔවුන් ජීවයට අහිතකර ලෙස ලෝක ගෝලය රත්වීම ගැන සිතන්නට වසර 30කට පෙර පවා සූදානම් නැත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි COP26 අමතමින් වසර 2030 වනවිට ඉන්දියාව කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා නිශ්චිත කාල රාමු සහිත ප්‍රතිඥාවක් ලබාදීම වැදගත් වන්නේ මේ පසුබිම තුළය. රෝමයේදී පැවැත්වුණු G20 සමුළුවේදී අවසන් වශයෙන් නිගමනය වී තිබුණේ සියවස මැද වනවිට එනම් දළ වශයෙන් වසර 2050 වනවිට ශුන්‍ය කාබන් විමෝචනයක් දක්වා යාමට බලාපොරොත්තු වන බවය. එයද පැවසුණේ නිශ්චිත වශයෙන් නොවේ. නමුත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දියාව නිශ්චිත වශයෙන්ම වසර 2070 වනවිට ශුන්‍ය කාබන් විමෝචනය කරා ගමන් කරන බව පැවසුවේය.

එපමණක් නොව, වසර 2030 වනවිට ‘පොසිල නොවන ඉන්ධන’ වලට ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, එහිදී ප්‍රධාන වශයෙන්ම සූර්ය ශක්තිය මත රඳා පැවතීමට බලාපොරොත්තු වන බවත් පැවසුවේය. ඒ අනුව සූර්ය බලය ගිගාබයිට් 450 සිට 500 දක්වා බලශක්තියක් බවට ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් මෝදි කියා ඇත. දැනටමත් ඉන්දියාව මේ අරමුණ වෙනුවෙන් ප්‍රායෝගිකව වැඩ කරමින් සිටියි. ඒ අනුව ඉන්දියාව 2021 වසර තුළ පළමු මාස 9 තුළ පමණක් සිය බලශක්ති අවශ්‍යතාවයට ගිගාවොට් 10ක් එක්කර තිබේ. එය සිදුකර තිබෙන්නේ සූර්ය ශක්තිය සහ සුළං බලය මගිනි.

ඒ අතර සංවිධායකයින් පහසුකම් සලසා නොතිබීම හේතුවෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිත කණ්ඩායම සමග පැමිණි අමාත්‍යවරියකට සමුළුවට සහභාගී වීමට නොහැකි වීම ගැන පැමිණිල්ලක්ද ගොනුව තිබුණි. රෝද පුටුවකින් පැමිණි එම කැරීන් එල්හරා නමැති අමාත්‍යවරියට පැය 2ක පමණ කාලයක් ශාලාවෙන් පිටත රැඳී සිටීමට සිදුව ඇත.