2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

හමුදා ගිවිසුමකට පුටින් ඉන්දියාවට!

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 75

දෙරට අතර වාර්ෂික ද්විපාර්ශ්වික සාකච්ඡාව සඳහා රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් දෙසැම්බර් මාසයේ ඉන්දීය සංචාරයකට එක්වීමට නියමිතය. රුසියා ජනාධිපතිවරයා එහිදී හමුදා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් ඇතුළුව තවත් ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට බලාපොරොත්තු වෙයි. පසුගිය වසරේ පැවැත්වීමට තිබූ දෙරට අතර රාජ්‍ය නායකයන්ගේ ද්විපාර්ශ්වික සාකච්ඡාව කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් අවලංගු කිරීමට සිදු වී තිබිණි.

මෙම ගමනේදී වඩාත්ම අවධානයට ලක්වනු ඇතැයි පැවසෙන කාරණය වන දෙරට අතර හමුදා තාක්ෂණික ගිවිසුම වසර 2021-2031 ඉදිරි දශකය සඳහා දෙරට අතර සහයෝගිතාව ප්‍රකාශයට පත් කෙරෙන්නකි. දෙරට අතර සන්නද්ධ හමුදා සඳහා අන්‍යෝන්‍ය සැපයුම්, අභ්‍යාස සඳහා පැමිණෙන සන්නද්ධ හමුදාවන්ට රුසියාවේ සහ ඉන්දියාවේ සැපයුම් සහ දීම ඉන් සිදුවනු ඇතැයි පැවසේ. මීට අමතරව තාක්ෂණ හා විද්‍යාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමක් ප්‍රකාශයට පත් කිරීමද රුසියා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සිදු කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. මේ හැර ආරක්ෂක, ආර්ථික, වෙළෙඳ, විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් රුසක් රුසියා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී අත්සන් තැබීමට නියමිතව ඇත.