තායිවානයේ ජාතික ආරක්ෂක බියුරෝවේ ප්‍රධානී චෙන් මින්ග් ටොන්ග් 2024 මැයි මාසය දක්වා චීනය තම රට ආක්‍රමණය නොකරනු ඇති බවට අනාවැකියක් කියා ඇත. මේ කියනා කාලය වත්මන් ජනාධිපතිනි ත්සායි ඉන්ග් වෙන්ග්ගේ පාලන කාලයයි.
කෙසේ වෙතත්, මෙම කාලය තුළ චීනය විසින් විවිධ උපායමාර්ග භාවිතා කරමින් තායිවානයට එරෙහිව කටයුතු කරනු ඇති බවද ඔහු පවසා ඇත. විශේෂයෙන් චීනය විසින් ඉදිරි කාලයේදී තායිවානයේ සාගර සීමාවන් අවහිර කිරීමටද ඉඩ ඇති බවයි තායිවාන ජාතික ආරක්ෂක බියුරෝවේ ප්‍රධානී චෙන් මින්ග් ටොන්ගේ අදහස වී ඇත්තේ.
චීනය විසින් තම රටට අයත් බවට ප්‍රකාශ කරන තායිවානයේ පාලනය සියතට ගැනීම සඳහා නුදුරේදීම ආක්‍රමණයක් දියත් කරනු ඇති බවට පසුගිය දිනවල වාර්තා පළවිය. මෙහිදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් තායිවානය ආරක්ෂා කිරීමට මැදිහත් වන බවට කළ ප්‍රකාශයන් හේතුවෙන් ලෝක දේශපාලනය තුළ මේ සම්බන්ධයෙන් උණුසුම් කතාබහක්ද නිර්මාණය වුණි. මේ අතර චීනය විසින් තම ගුවන් හමුදා යානා යොදාගෙන තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම පසුගිය කාලසීමාවේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්. තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ චීනය ගුවන් හමුදා යානා 190ක් පමණ පසුගිය, ඔක්තෝබර් මාසයේ අවස්ථා කිහිපයකදී තම ගුවන් සීමාව ආක්‍රමණය කර ඇති බවයි.