2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

පකිස්තානයේ යකඩ කෙල්ල මලාලා විවාහවෙයි

2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00182

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලොව ලාබාලතම තැනැත්තා ලෙස වාර්තා අතරට එක්ව සිටින පකිස්තානයේ තලීබානුවන්ට නොබියව එරෙහි වූ යකඩ කෙල්ල මලාලා යූසුෆ්සායි තමන් විවාහ වූ වග මූළු ලොවටම පසුගියදා ට්විටර් මගින් දැනුම් දුන්නාය.

ඇය විවාහ වූයේ, එංගලන්තයේ බර්මින්හැම්හිදී, නිකා චාරිත්‍රානුකූලව පැවැති චාම් උත්සවයකදීයි. එම උත්සවය සඳහා පවුලේ ඥාතීන් පමණක් සහභාගී වී තිබුණි. මලාලා යූසුෆ්සායි සමඟ විවාහ ගිවිසගෙන ඇති අසර් මලික් ආර්ථික හා දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. ඔහු පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙසද කටයුතු කරයි.

මලාලා යූසුෆ්සායි, ලොවපුරා ප්‍රසිද්ධියට පත්වුණේ 2012 වර්ෂයේ පාකිස්තානයේදී පාසල් බස්රථයක් තුළ තලෙයිබාන් සටන්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමත් සමගයි. ගැහැනු දරුවන්ගේ පාසල් අධ්‍යාපන වෙනුවෙන් හඬනැගූ ඇය මේ වනවිට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියකි. බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා සිටින මලාලා මේ වනවිට සිය පවුලේ සාමාජිකයින් සමග පදිංචිව සිටින්නේ එංගලන්තයේයි.

පාකිස්තානයේ වයඹ දිග කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ ස්වොට් නිම්නයේ 1997 ජූලි මස 9 වැනිදා උපන් මලාලා යුසුෆ්සායි පාසල් ගණනාවක්ද පවත්වාගෙන ගිය අධ්‍යාපන ක්‍රියාකාරිකයෙක් වූ සියාඋදීන් යුසුෆ්සායිගේ සහ තුර්ෆිකායි යුසුෆ්සායිගේ දෙටු දියණියයි. ඈ උපන් ස්වොට් නිම්නය දෙවැනි එළිසබෙත් රුජන වරෙක හැඳින්වූයේ පෙරදිග ස්විට්සර්ලන්තය ලෙසිනි. එය එතරම්ම සොඳුරු වූ තැනකි. ඇයට යාන්තම් එකොළොස් විය සපිරෙද්දී තලේබාන් සටන්කරුවෝ ගමට කඩා වැදුණහ. සියලුම දැරියන්ට පාසල්යාම තහනම් කැරිණි. මලාලා තලිබාන් විරෝධය අරඹන්නේ එතැන් සිටයි. ඇය ඔවුන්ගේ සාම්ප්‍රදායික තහනමට එරෙහිව ප්‍රසිද්ධියේ කතාබහ කරන අතරම BBC උර්දු සේවයේ Blog අඩිවියට තලේබාන් පාලනය යටත් ස්වොට් නිම්න දැරියකුගේ අත්දැකීම් වෙනත් නමකින් ලියන්නට වූවාය. තලීබ්වරු මේ ගැන සිටියේ සෝදිසියෙනි. මලාලා හට සිය සුන්දර ගම හැර යන්නට සිදුවිණි. ඇගේ පියා පෙෂාවෝර් වෙත ගියේ විරෝධය පාන්නටත් ආධාර ලබාගන්නටත්ය.

තලේබානුවන්ට යටවූ ස්වොට් නිම්නය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් තනන්නට ආ නිව්යොර්ක් ටයිම්ස් වාර්තාකරු ඇඩම් බී. ඉලීක් තෝරා ගත්තේද මලාලාවය. පොතක් පතක් කියවන්න නැතිව මට එපාවෙලා තියෙන්නේ ඈ එහි එක් තැනකදී කියයි. පුවත්පත් සාකච්ඡාවකදී තලේබාන්වරුන් විවේචනය කළැයි ඇගේ පියාට මරණීය දණ්ඩනය නියම කළ බව තලේබාන් නායකයා දන්වන්නේ ඔන්න ඔය අතරය.

මලාලාගේ කුඩා කළ සිටම වූ සිහිනය වූයේ වෛද්‍යවරියක වීමටය. එහෙත් අධ්‍යාපන ක්‍රියාකාරිකයකු වූ සිය පියාට මරණ දණ්ඩනය පනවා සිය ඉගෙනුමට තහනමද වැටුණ පසු ඒ ගිම්හානයේදී සිය ජීවිතයේ මුල් වතාවට දේශපාලනඥයකු වීමට ඈ හිතට ගත්තාය. 2009 ජූලි 24 වනවිට මලාලා සිය පවුලේ උදවිය සමගින් නැවතත් සිය නිවස බලා එන්නට වූවාය. ඇගේ පාසල ඒ වනවිටත් යහතින් ඉතිරිව තිබුණි. තර්ජන මැද්දේ පාසල ඇරැඹිණි.

මලාලා සොයා ජනමාධ්‍ය ඇදී එන්නට වූයේ BBC වාර්තා චිත්‍රපටය විකාශනයත් සමගය. ෂප්ටෝ, උර්දු සහ ඉංග්‍රීසි බස මැනැවින් හසුරවන ඇය ෂප්ටෝ බසින් විකාශනය කරන Avtkhyber, උර්දු බසින් පළවන Daily Aaj සහ කැනඩාවේ Toronto Star මගින් සම්මුඛ සාකච්ඡා සඳහා තෝරාගනු ලැබිණි. උර්දු බසින් BBC බ්ලොග් අඩවියට ලියුවේ ඈ බව 2009 දෙසැම්බරය වනවිට එළිදරව් වී තිබුණි.

2011 ඔක්තෝබරයේ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ ඇය අන්තර්ජාතික සාම ළමා ත්‍යාගයට නම් කළේය. දෙසැම්බරයේදී ඇයට අගමැති යුසුෆ් රාසා ජිලානි විසින් ජාතික තරුණ සාම ත්‍යාගය පිරිනමන ලදි.

2012 වනවිට මලාලා දුප්පත් දැරියන්ට පාසල් යාමට ආධාර ලබාදෙන මලාලා අධ්‍යාපන පදනම පිහිටුවන්නට සැලසුම් කර තිබුණි. ඒ වනවිට ඇය මාක්ස්වාදය සහ සමාජවාදය වෙතට නැඹුරුව කටයුතු කරමින් සිටියාය. අන්තර්ජාතික මාක්ස්වාදී ප්‍රවනතාවයේ පාකිස්තානු අංශය හා සබැඳියා පැවැත්වූවාය.

හොඳ ෆේස්බුක්කාරියක වූ ඇයට ඒ හරහා මරණීය තර්ජන එල්ලවන්නට වූයේ මේ අතරය. ඇගේ නිවසේ දොරට යටින් තර්ජනාත්මක ලිපි ඇතුළු කර තිබුණි. පුවත්පත්වල මරණ තර්ජන පලවිය. අන්තිමේදී මේ සියල්ල අවසන තලේබාන්වරු මේ නොනවතින තරුණියගේ ගමන්මග හරස් කරන්නට සිතූහ.

2012 ඔක්තෝබර් මස 12 වැනිදා පාසලේ විභාගයට පිළිතුරු ලියූ මලාලා නිවස බලා යාමට පාසල් රථයට නැගුණාය. ඇගේ මිතුරියන් වන ෂාසියා සහ කයීනාත් ඈ අසලම ඉඳගත්හ. අතරමගදී පාසල් බස්රිය හදිසියේ නතර කරන ලදි. මුහුණු ආවරණය කරගත් තලීබාන්වරු බස්රියට කඩා වැදී &කවුද මලාලා* යැයි විමසූහ. අන් දැරියෝ බියෙන් පැකිලී ඈ සිටි දෙස බැලූහ. පිස්තෝලය තෙවරක් පත්තු වූයේ ඈ හිඳ සිටි අසුන දෙසටය. මලාලාගේ වම් හිසෙන් ඇතුළු වූ උණ්ඩය ගෙල ඔස්සේ උරහිසට කිඳා බැස තිබුණි. 

කායිනාගේ අතකට වෙඩි වැදී තිබුණි. මලාලාගේ මිතුරියන් දෙදෙනාට සුවය ලැබුණු අතර එවකට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන රාජ්‍ය දූතයකු ලෙස පැමිණි ගොර්ඩන් බ්‍රවුන් ඔවුන්හට බ්‍රිතාන්‍යයේ VWC ඇට්ලන්ටික් කොලීජියට ශිෂ්‍යත්ව ලබා දුන්නේය.

මලාලා ජීවිතයත් මරණයත් අතර සටන් වැද මහා බ්‍රිතාන්‍යයේ ක්වීන් එලිසබෙත් රෝහල වෙත රැගෙන ආවාය. එතැන් සිට නොබෙල් ත්‍යාගය දක්වා ඇගේ ගමන සිදුවූයේ ලෝකවාසී මහා ජනරුල්ලක උද්යෝගිමත් ආශීර්වාදය සමගිනි.

 

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00