ලොවපුරා මූල්‍ය ආයතන දහස් ගණනක් සම්බන්ධ කරන අධි ආරක්ෂිත ගනුදෙනු ජාලයක් වන SWIFT වෙතින් රුසියාව ඉවත් කළ යුතු බව එක්සත් ජනපද නීති සම්පාදකයින් යෝජනා කර තිබේ. එය රුසියාව වඩාත්ම බය කරන බිල්ලා ලෙස ඔවුන් හඳුනාගෙන තිබේ.
මේ ප්‍රකාශයට ජ්‍යෙෂ්ඨ රුසියානු නීති සම්පාදකයින් අණතුරු අඟවමින් ප්‍රතිචාර දක්වා ඇත්තේ එසේ වුවහොත් යුරෝපයට තෙල්, ගෑස් සහ ලෝහ නැව්ගත කිරීම නතර වනු ඇති බව කියමිනි.
ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය සඳහා නියෝග කිරීමෙන් වළක්වාලීමේ අරමුණින් පෙර නොවූ විරූ සම්බාධක පැකේජ ඉදිරිපත් කරමින් බටහිර ආණ්ඩු රුසියාව මට්ටු කිරීමට හෙට්ටු කරමින් සිටිති. මේ තර්ජන අතර, ක්‍රෙම්ලිනය දැඩිව භීතියට පත්කරන ප්‍රධාන පියවරක් වන්නේ ගෝලීය බැංකු ගනුදෙනු පද්ධතියෙන් එම රට කපා හැරීමය.
1973 දී ටෙලෙක්ස් වෙනුවට ආරම්භ කරන ලද මෙම ගෝලීය අන්තර් බැංකු මූල්‍ය සංනිවේදනය සඳහා වූ Worldwide Interbank Financial Telecommunication එකමුතුව ආරක්ෂිත පණිවිඩ යැවීමට සහ ගෙවීම් හා ඇණවුම් කිරීමට ලොවපුරා මූල්‍ය ආයතන 11,000කට අධික සංඛ්‍යාවක් දැන් භාවිතා කරයි.
රුසියාව SWIFT වෙතින් ඉවත් කළහොත් ඒ රට මූල්‍ය ආයතනවලට, රුසියානු සමාගම්වලට සහ ඔවුන්ගේ විදේශීය ගනුදෙනුකරුවන්ට රට තුළට හෝ ඉන් පිටතට මුදල් යැවීමට නොහැකි වනු ඇත. විශේෂයෙන් එක්සත් ජනපද ඩොලර්වලින් ගනුදෙනු කෙරෙන තෙල් සහ ගෑස් අපනයන ගැනුම්කරුවන්ට එය බරපතළ ලෙස බලපායි. SWIFT වෙතින් රටක් ඉවත් කිරීම නිසා සිදුවන අලකලංචිය ගැන පූර්වාදර්ශයක් තිබේ.
බටහිර තැති ගැන්වූ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් යුරෝපා සංගමය විසින් අනුමත කිරීමෙන් පසු 2012 දී SWIFT සිය ගනුදෙනු ජාලයෙන් ඉරාන බැංකු විසන්ධි කළේය. ඒ හේතුවෙන් ඉරානයට තෙල් අපනයන ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සහ විදේශ වෙළඳාමෙන් 30%ක් අහිමි විය.
යම් හෙයකින් SWIFT වෙතින් ඉවත් කළහොත් සිදුවිය හැකි අලකලංචියට සූදානම් වීමට රුසියාව විකල්ප සෙවුයේ ක්රිමියාව ඈඳා ගැනීමෙන් පසු 2014 දී බටහිර සම්බාධකවලට ගොදුරු වීමෙන් පසුවය.
ඒ අනුව මොස්කව් තමන්ගේම ගෙවීම් පද්ධතියක් වන එස්.පී.එෆ්.එස්. ස්ථාපිත කළේය. රුසියාවේ මහ බැංකුවට අනුව SPFS හි දැන් පරිශීලකයින් 400ක් පමණ ඇත. දැනට දේශීය ගනුදෙනු සියයට විස්සක් SPFS හරහා සිදු කෙරේ,
චීනයේ ක්‍රොස්-බෝඩර් අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය, වන CIPS, SWIFT සඳහා තවත් විකල්පයකි. ගුප්ත කේතන මුදල් හෙවත් cryptocurrencies භාවිතා කිරීමටද මොස්කව්වලට හැකිය. රුසියා තහනම තනිව ක්‍රියාත්මක කළ නොහැකිය. ඒ සඳහා යුරෝපීය රටවල් ගණනාවක අනුමැතිය අවශ්‍යය. මේ බොහෝ රටවල් රුසියානු තෙල්, ලෝහ ඇතුළු වෙනත් නිපැයුම් මත යැපෙති. රුසියාව, යුක්රේනයේ දේශසීමා ආසන්නයට හමුදා භටයන් ලක්ෂයක් ගෙන ගොස් ඇති නමුත් තමන් ආක්‍රමණයක් සැලසුම් කරන බවට ඇති චෝදනාව තවමත් ප්‍රතික්ෂේප කරයි.