2022 මාර්තු 06 වන ඉරිදා

අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් කඩා වැටෙන ලකුණු!

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 156

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS)2030 වසර දක්වා භාවිතයේ පවතිනු ඇති බවත්, අනතුරුව 2031 වසරේ මුල්භාගයේදී ශාන්තිකර සාගරයට කඩා වැටෙනු ඇති බවත් NASA ආයතනය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සැකිල්ල පැරණි වීමත් එහි උපකරණ පැරණි වීමත් මත මෙලෙස අතහැර දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශාන්තිකර සාගරයේ ‘පොයින්ට් නීමෝ’ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයට කඩා වැටෙනු ඇති බව එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ වාර්තාවක දක්වා ඇත.

අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටෙන මුහුදු ප්‍රදේශය පෘථිවියේ ගොඩබිමකට වඩාත්ම ඈතින් පිහිටන සාගර ප්‍රදේශය වන අතර, එය ‘අභ්‍යාවකාශ යානා සුසානය’ ලෙසද හඳුන්වනු ලැබේ. මීට පෙර 2001 වසරේ දී කඩා වැටුණු ‘මීර්’ නම් රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයද ඇතුළු බොහෝ පැරණි චන්ද්‍රිකාවන් හා අනෙකුත් අභ්‍යවකාශ සුන්බුන්ද මෙම ස්ථානයට කඩා වැටී ඇත.

ඇමෙරිකාවේ සහ රුසියාවේ අභ්‍යවකාශ ආයතනය මූලිකත්වයෙන් 1998 වසරේදී මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගූ අතර ඊට තවත් රටවල් කිහිපයක අභ්‍යවකාශ ආයතන සම්බන්ධවී කටයුතු කරනු ලබයි. 2000 වසරේ සිට මේ දක්වා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය රැඳී සිටින අතර පර්යේෂණයන් 3000කට වැඩි සංඛ්‍යාවක පරීක්ෂණ කටයුතු එහි ක්ෂුද්‍ර ගුරුත්ව විද්‍යාගාරයේදී සිදුව ඇතැයි පැවසේ.