2022 මාර්තු 06 වන ඉරිදා

රුසියාව කාර්සොන් අල්ලයි. ඔඩෙසාවට දිය - ගොඩ ප්‍රහාර!

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 204

2022 පෙබරවාරි 24 වැනි දින රුසියාව නිරිත දෙසින් පිහිටි තම අසල්වැසියා වූ  යුක්රේනයට එරෙහිව ඇරුඹි මහා පරිමාණ හමුදා ආක්‍රමණය දැන් සතියක් පුරා ඇවිල යමින් තිබේ. කලාපීය සාමය පමණක් නොව දැන් ලෝක සාමයටද මේ ආක්‍රමණය තර්ජනයක් වන ලකුණු පහළ වී හමාරය. මේ වනවිට රුසියානු ගොඩබිම් හමුදාව රුසියාව, ක්‍රිමියාව සහ බෙලරුස් වෙතින් යුක්රේනයට ඇතුළු වී ඇත. රුසියානු ගුවන් සහ මිසයිල ප්‍රහාර යුක්රේනය පුරා හමුදා කඳවුරු, ගුවන් තොටුපළ සහ Kyiv, Lviv, Kharkiv සහ Odessa ඇතුළු ප්‍රධාන නගර ඉලක්ක කර මහා විනාශකාරී ප්‍රහාරයක් අරඹා හමාරය.

මේ වනවිටද  යුක්රේනියානුවන් 900,000කට වැඩි පිරිසක් යුක්රේනයෙන් පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරයි, එය 1990 ගණන්වල බෝල්කන් යුද්ධවලින් පසු යුරෝපයේ විශාලතම මහජන-නික්මයාම සනිටුහන් කරයි. සරණාගතයින්ගෙන් අඩකට වඩා පෝලන්තයට ගොස් ඇති අතර තවත් පිරිසක් මෝල්ඩෝවා, ස්ලෝවැකියාව, රුමේනියාව සහ හංගේරියාව වෙතද ගලා එමින් සිටිති.

රුසියානු හමුදා යුක්රේනය පුරා ප්‍රධාන නාගරික ප්‍රදේශ වටලා, උපායමාර්ගික වරාය නගරයක් වන කාර්සොන් වෙත ඉදිරියට යමින් සහ ජාතියේ දෙවැනි විශාලතම නගරය වන කාර්කිව් වෙත බෝම්බ හෙලීය.  රුසියාවේ යුද නැව් ආක්‍රමණය ආරම්භ වී සතියකට පසු ඔඩෙස්සා වෙත දිය ගොඩ - උභයජීවී ප්‍රහාරයක් සූදානම් කර තිබුණි.

ලක්ෂ 3ක ජනතාවක් වාසය කරන උපක්‍රමිකව ඉතාමත් වැදගත් කාර්සොන් නගරද ඉකුත් සතියේ රුසියානු හමුදා අතට පත්වුණි. යුක්රේනයේ ප්‍රධාන ජල සැපයුම් කලාපයක් ද වන කාර්සොන් සැලකෙන්නේ, රුසියාව අත්පත්කරගත් විශාලතම නගරය ලෙසය. රුසියානු හමුදා කාර්සොන්හි පාලනය අල්ලා ගත් අතර නගරාධිපති පුටින්ගේ සොල්දාදුවන්ට කීකරු වන ලෙස නිවැසියන්ට පවසා තිබුණි. ඔහු සිවිල් වැසියන්ට වෙඩි නොතබන ලෙස හමුදාවන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා විය.

ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් රුසියානු රාජ්‍ය මාධ්‍ය පැවසුවේ මොස්කව් හමුදා දැන් කාර්සොන් පාලනය කරන බවයි. නමුත් යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ කාර්සොන් සඳහා වූ “සටන දිගටම පවතින” බවයි. කාර්සොන්  නගරාධිපති පැවසුවේ රුසියානු හමුදා ඔහුගේ කාර්යාලයට පැමිණ නගරයේ පදිංචිකරුවන් 300,000 ක් ඉවත් කළ හැකි ආකාරය ගැන සාකච්ඡා කළ බවයි. කෙසේ වෙතත්, ඔහු සිය ෆේස්බුක්හි ලියා තිබුණේ, &අපට ඉහළින් ඇති ධජය තවමත්   යුක්රේනියානුය. යනුවෙනි.

යුක්රේනයේ උසින් වැඩිම කියෙව්හි රෑපවාහිනී කුලුන වෙත රුසියානු මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වුණේ ජීවිත 5ක් අහිමි කරමිනි. කියෙව්හි සන්නිවේදන කටයුතු අඩපණ කිරීම ප්‍රහාරයේ අරමුණ විය. එම ප්‍රහාරයෙන් කියෙව් හි පිහිටි යුදෙව්වන් අනුස්මරණ කෞතුකාගාරයටද දැඩි හානි සිදුවුණි. දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මානුවන් සිදුකළ  යුදෙව් සංහාරයේදී ඝාතනයට ලක්වූ 33,000ක යුදෙව්වන්ගේ සමූහ සුසානයක් වන බාබින් යාර් ස්මාරකය සැලකෙන්නේ යුරෝපයේ ඇති විශාලතම සමූහ යුදෙව් සුසානය ලෙසය.

යුක්රේනයේ දෙවැනි විශාලතම නගරය වන කාර්කිව්ද රුසියාවේ ප්‍රබල ප්‍රහාරයකට ලක්වෙමින් තිබේ. යුක්රේන චෝදනා කරන්නේ, කාර්කිව් වෙත එල්ල කරන ප්‍රහාර සඳහා රුසියානු පැරිෂුට් හමුදා ඛණ්ඩ යොදවාගෙන ඇති බවය. මේ අතර සැතපුම් 40ක දිගින් යුත් රුසියානු සන්නද්ධ රථ පෙළක් කියෙව් අගනුවරට සැතපුම් 15කට ආසන්නයේ රඳවා තිබේ.

මෙවන් පසුබිමක කියෙව් අගනුවර වැසියන් විශාල පිරිසක් දුම්රිය නැවතුම්පොළ වෙත එක්ව සිටියේ නගරයෙන් පළායාම සඳහාය. ප්‍රවාහන පහසුකම් නොමැති ඇතැම් කියුව් වැසියන් නගරයෙන් පළා යමින් සිටින්නේ පා ගමනින්ය. මේ වනවිට යුක්රේන සරණාගතයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් පෝලන්තය, මෝල්දෝවාව ඇතුළු අසල්වැසි රටවල් වෙත පළා ගොස් තිබේ.

යුද විචාරකයින් ඇස්තමේන්තු ගත කර ඇත්තේ, යුක්‍රේන සරණාගතයින් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා යා හැකි බවය. ගෙවුණු සතිය තුළ පමණක් යුක්රේනයේ ළමුන් 15දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 352 දෙනකු මියගොස් තිබේ. යුක්රේනය වාර්තාවන්ට අනුව ප්‍රහාරවලින් මියගිය රුසියානු සෙබළු ගණන 5, 840ක් වුවත් රුසියාව එම වාර්තා තහවුරු කර නොමැත.

යුක්රේන ජනාධිපතිවරයා යුරෝපීය පාර්ලිමේන්තුව අමතනු ලැබීය. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. එහිදී යුක්රේන ජනාධිපතිවරයාට යුරෝපීය පාර්ලිමේන්තු සාමාජිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර සියලුම මන්ත්‍රීවරුන් සිය ආසනවලින් නැගිට යුක්රේන ජනාධිපතිවරයාට අත්පොළසන් දී පිළිගනු ලැබ තිබේ.

මූල්‍ය අර්බුදයක් අවුලුවාලමින් රුසියාවට පනවන ලද නව සම්බාධක ඇතුළුව, මෙම  ආක්‍රමණය පුළුල් ලෙස ජාත්‍යන්තර හෙළා දැකීමට ලක්ව තිබේ. ආක්‍රමණයට එරෙහිව ගෝලීය විරෝධතා හටගත් අතර රුසියාවේ විරෝධතා සමූහ අත්අඩංගුවට ගැනීම්වලින් අවසන් විය. ආක්‍රමණයට පෙර සහ එය අතරතුර, විවිධ රාජ්‍යයන් යුක්රේනයට ආයුධ සහ අනෙකුත් ද්‍රව්‍ය ආධාර ඇතුළු විදේශ ආධාර ලබා දෙමින් සිටියි. 2022 මාර්තු 2 වැනි දින රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේ සටනේදී රුසියානු සොල්දාදුවන් 498 දෙනෙකු මියගොස් තවත් 1,597 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. සිවිල් වැසියන් 2000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවටද වාර්තා පළව ඇත.

බටහිර රටවල් සහ ආයතන රුසියාවට සීමිත සම්බාධක පැනවීමට පටන් ගත්තේ ඒ රට ඩොන්බාස්හි ස්වාධීනත්වය පිළිගත් විටමය. පෙබරවාරි 24 වැනි දින ප්‍රහාර ආරම්භ වීමත් සමඟ රුසියානු ආර්ථිකය අඩපණ කිරීමේ අරමුණින් අතිරේක රටවල් විශාල සංඛ්‍යාවක් සම්බාධක යෙදීමට පටන් ගත්හ. පුද්ගලයන්, බැංකු, ව්‍යාපාර, මුදල් හුවමාරු කිරීම්, බැංකු මාරුකිරීම්, අපනයන සහ ආනයන ඉලක්ක කර ගනිමින් මෙම සම්බාධක පුළුල් පරාසයක පැවතුනි. පෙබරවාරි 22 කතාවකදී, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් V.E.B හෙවත් රුසියානු සංවර්ධන බැංකු ජාලය ඇතුළු රුසියානු බැංකු හතරකට මෙන්ම පුටින්ට සමීප දූෂිත ප්‍රකෝටිපතියන්ට එරෙහිව සීමා කිරීම් නිවේදනය කළේය. රුසියාවේ ආර්ථික සම්බාධක වහාම ක්‍රියාත්මක විය. RTS දර්ශකය මගින් මනිනු ලබන පරිදි, ආක්‍රමණයේ පළමු දිනයේදී රුසියානු කොටස් වෙළඳපොළ 39% කින් පහත වැටුණු අතර, ඊළඟ දිනවලද එවැනිම පහත වැටීම් සිදුවිය. රුසියානුවන් මුදල් හුවමාරු කර ගැනීමට ඉක්මන් වීමත් සමඟ රුසියානු රෑබල් වාර්තාගත පහත් මට්ටමට වැටුණි.

ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් තිරිඟු මිල 2008 වසරේ සිට ඉහළම මිල දක්වා ඉහළ ගියේය. ආක්‍රමණය වනවිට යුක්රේනය බඩ ඉරිඟු සහ තිරිඟු අපනයනය කරන සිව්වැනි විශාලතම අපනයනකරු වූ අතර ලොව විශාලතම සූරියකාන්ත තෙල් අපනයනකරු වූ අතර රුසියාව සහ යුක්රේනය එක්ව ලෝකයේ තිරිඟු සැපයුමෙන් 29%ක් සහ ලෝක සූරියකාන්ත තෙල් අපනයනයෙන් 75%ක් අපනයනය කළහ.

මේ අතර එක්සත් රාජධානිය සහ තවත් රටවල් 37ක් විසින් යුක්රේනය වෙත විනාශකාරී සහ නීති විරෝධී ආක්‍රමණයක් සිදුකිරීම සම්බන්ධයෙන් රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ගෙන ඒමට කටයුතු කර ඇත. බ්‍රිතාන්‍යයේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය පැවසුවේ එය මෙම අධිකරණ ඉතිහාසයේ විශාලතම නඩු නිර්දේශය බවයි.