2022 මාර්තු 13 වන ඉරිදා

පළමු නවීකරණය කරන ලද ඌරු හදවත් බද්ධය ලබාගත් මිනිසා මියයි

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 27

මාරාන්තික හෘද රෝගයකට ගොදුරුව සිට ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරු හදවතක් බද්ධ කිරීම සිදුකරන ලද ලොව පළමු පුද්ගලයා බවට පත්වූ 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් (ජ්‍යෙෂ්ඨ) මිය ගියේය.

බැල්ටිමෝර්හි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශයකට අනුව බෙනට් අඟහරුවාදා අභාවප්‍රාප්ත වී ඇත. බෙනට් ඉකුත් ජනවාරි 7 වැනි දින බද්ධය ලබාගත් අතර ඉන්පසුව මාස 2ක් ජීවත් විය.

ඔහුගේ මරණයට නිශ්චිත හේතුව නොදැක්වුවද, වෛද්‍ය මධ්‍යස්ථානය පැවසුවේ බෙනට්ගේ තත්ත්වය ඔහුගේ මරණයට දින කිහිපයකට පෙර නරක අතට හැරෙන්නට පටන්ගත් බවයි. ඔහු සුවය නොලබන බව පැහැදිලි වූ විට, ඔහුට සානුකම්පිත සහනාධාර ප්‍රතිකාර ලබාදුන් අතර ඔහුගේ අවසන් පැය කිහිපය තුළ ඔහුගේ පවුලේ අය සමඟ සන්නිවේදනය කිරීමට හැකි විය.

බරපතල හෘදයාබාධයකින් පීඩා විඳි ඩේවිඩ් බෙනට්ගේ දිවි බේරා ගැනීම සඳහා මිනිස් හදවතක් බද්ධ කිරීම නුසුදුසු වූ බැවින් එලෙස ඌරෙකුගේ හදවතක් බද්ධ කිරීමට  වෛද්‍යවරුන් කටයුතු කර තිබුණි. එහෙත් එම ශල්‍ය කර්මයට පෙර ඔහුට බද්ධ කළ ඌරු හදවත රසායනාගාරයක් තුළදී ජානමය වෙනස්කම් රැසකට භාජනය කර තිබුණි. බද්ධ කළ හදවත ඔහුගේ සිරුර මගින් ප්‍රතික්ෂේප කළේද නැද්ද යන්න මෙතෙක් අනාවරණ වී නැත. අදාළ සැත්කම අවදානම් බව ඩේවිඩ් බෙනට් විසින් දැන සිට තිබුණි. ඔහුම එම ශල්‍යකර්මය පිළිබඳ හඳුන්වා දී තිබුණේ අඳුරේ සිට වෙඩි තැබීමක් හැටියටය.