රුසියාව යුක්රේනය වෙත රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇතැයි අමෙරිකාව අනතුරු අඟවා ඇත. මේ සතියේ රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පිළිගතහැකි සාක්ෂි නොමැතිව යුක්රේනය එක්සත් ජනපද සහාය ඇතිව රසායනික හා ජීව විද්‍යාත්මක අවි විද්‍යාගාර පවත්වාගෙන යන බවට චෝදනා කළේය. යුක්රේනයේ ජීව විද්‍යාත්මක අවි පිළිබඳ මේ රුසියානු ප්‍රකාශයන් තමන්ගේම රසායනික අවි ප්‍රහාරයකට අඩිතාලමක් දැමීම සඳහා කළ ප්‍රකාශයක් විය හැකි බව එක්සත් ජනපදය අනතුරු අඟවයි.
ඒ අනුව ධවල මන්දිරය තමන් ආක්‍රමණය කර ඇති රට තුළ නීති විරෝධී රසායනික අවි සංවර්ධනය පිළිබඳ රුසියානු ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන හෙයින්, යුක්රේනයේ රසායනික හෝ ජීව විද්‍යාත්මක අවි භාවිතා කිරීමට රුසියාව උත්සාහ කළ හැකි බව බයිඩන් පරිපාලනය අනතුරු අඟවා තිබේ. ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජින් සාකි රුසියාවේ මේ ප්‍රකාශය ''අමුතු'' ලෙස හැඳින්වූ අතර එය යුක්රේනයට එරෙහිව තමන්ගේම එවැනි මහා විනාශකාරී ආයුධ භාවිතය සඳහා පදනම දැමීමට රුසියාව දරන උත්සාහයේ කොටසක් විය හැකි බව පැවසීය.
Mariupol හි ළමා රෝහලට බෝම්බ හෙලීම හෙළා දකින බැවින් (අඥාන ප්‍රචණ්ඩත්වය නැවැත්විය යුතු) බව Antonio Guterres පවසයි. එක්සත් ජාතීන්ට අනුව මේ වනවිට මිලියන 2කට වැඩි පිරිසක් අසල්වැසි රටවලට රටින් පලාගොස් ඇති අතර ඒ අතරින් බහුතරයක් දරුවන් සහ කාන්තාවන්ය. යුනිසෙෆ් සංවිධානයට අනුව සරණාගතයන්ගෙන් මිලියන භාගයක් ළමයින්ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රුසියාවේ ආක්‍රමණය හෙළා දැකීමට ඡන්දය ප්‍රකාශ කර ඇත.
මේ වනවිට රුසියානු ආක්‍රමණයට යටත්ව ඇති රටපුරා ජනබහුල ප්‍රදේශවලට ෂෙල් ප්‍රහාර එල්ලවීම නිසා යුක්රේන සිවිල් වැසියන් 2,000කට වැඩි පිරිසක් මියගොසිනි. යුක්රේනයේ ප්‍රවාහන පහසුකම්, රෝහල්, ළදරු පාසල් සහ නිවාස ඇතුළු ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සිය ගණනක් විනාශ වී ඇති බව යුක්රේනයේ හදිසි සේවා පවසයි. මේ වනවිටද Kharkiv, Mariupol සහ Zhytomyr යන නගරවලින් ජීවිත හානි වාර්තා වී ඇත.
රුසියාව සහ යුක්රේනය සිදුව ඇති මිලිටරි ජීවිත හානි සඳහා බෙහෙවින් වෙනස් සංඛ්‍යාවන් සඳහන් කරති. රුසියාව බදාදා ප්‍රකාශ කළේ තමන්ට 500ට අඩුවෙන් හානි වී ඇති බව වන අතර යුක්රේනය පැවසුවේ රුසියානු හමුදා 7,000 කට ආසන්න සංඛ්‍යාවක් මරා දමා තවත් සිය ගණනක් අල්ලා ගත් බවයි. පිළිස්සී ගිය මළසිරුරු වලින් වටවූ රුසියානු ටැංකිවල පින්තූර මාධ්‍ය වෙත නිකුත්ව ඇත.
මිලියන 1.5ක ජනගහනයක් වෙසෙන යුක්රේනයේ දෙවැනි විශාලතම නගරය වන Kharkiv වෙත රුසියාව විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එහි මධ්‍යස්ථානය නටබුන් වූ ගොඩනැගිලි සහ සුන්බුන් සහිත මුඩුබිමක් බවට පත්ව ඇත. තවදුරටත් උතුරට, රටේ දෙවැනි විශාලතම නගරය වන Kharkiv හි රුසියානු ප්‍රතිරෝධය දිගටම පවතින අතර, බදාදා රුසියානු ප්‍රහාරයෙන් අවම වශයෙන් පාසල් තුනකට, ආසන දෙව්මැදුරකට සහ වෙළඳසැල්වලට හානි වී ඇති බව සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝ සහ ඡායාරෑප අනුව භූ ස්ථානගත කර ස්ථිර කර ඇත. ගිනිකොනදිග යුක්රේනයේ සිය නගරය පැය 26ක් අඛණ්ඩව ෂෙල් ප්‍රහාරවලට මුහුණ දුන් බවත් එය දැන් මානුෂීය අර්බුදයකට මුහුණ දී ඇති බවට අනතුරු ඇඟවූ බවත් මරියුපෝල්හි නියෝජ්‍ය නගරාධිපති බ්‍රහස්පතින්දා උදෑසන ප්‍රකාශ කළේය.
300,000ක් පමණ වාසය කරන Kherson හි පදිංචිකරුවෙකු එහි තත්ත්වය විස්තර කළේ ''මානුෂීය ව්‍යසනයක්'' ලෙසයි, CNN බ්‍රහස්පතින්දා කියා සිටියේ නිවැසියන් මූලික අවශ්‍යතා ලබා ගැනීමට උත්සාහ කරන විට නගරයේ අවුල් සහගත හා භීතියක් ඇති වූ බවයි. ප්‍රදේශවාසියෙකුට අනුව, ෆාමසි කොල්ලකෑම සමඟ ආහාර සහ බෙහෙත් - (විශේෂයෙන් ඉන්සියුලින්) දැඩි හිඟයක් පවතී. රුසියානු හමුදා විසින් සැලකිය යුතු මංකොල්ලකෑම් සිදු වී ඇති බවත්, රුසියානු සොල්දාදුවන් මිනිසුන් අත්අඩංගුවට ගන්නා ආකාරය දැක ඇති බවත් පදිංචිකරු පැවසීය.
බ්‍රහස්පතින්දා විකාශන පණිවිඩයක් නිකුත් කරමින් යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලන්ස්කි රුසියානු හමුදා අමතමින් මෙසේ පැවසීය. ''ඔබ අපේ මිනිසුන්ට ආහාර නොමැතිව තබයි, ඔබ අපව බෙහෙත් නොමැතිව තබයි. ඔබ ජනතාව ඉවත් කිරීමේ මාර්ගවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරයි, ඔබ අපට එරෙහිව, නිදහස් පුරවැසියන්ට එරෙහිව භාවිතා නොකරන ආයුධයක් නොමැත.''
ඒ අතර යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා යැවීමට කළ පෝලන්තයේ යෝජනාවට එක්සත් ජනපදයේ විරුද්ධත්වය පෙන්ටගනය යළිත් තහවුරු කරන්නට යෙදිණි. එසේම එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය නැවතත් පියාසර තහනම් කලාපය ප්‍රතික්ෂේප කරන්නේ එය රුසියාව සමඟ සෘජු ගැටුමකට තුඩු දිය හැකි බව පවසමිනි.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් යුක්රේන විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා තුර්කියට පැමිණි අතර, ජ්‍යෙෂ්ඨ යුක්‍රේන නිලධාරි Mykhailo Podoliak ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ''දෙවැනි වටයේ සාකච්ඡා අවසන්. අවාසනාවකට, යුක්රේනයට අවශ්‍ය ප්‍රතිඵල තවම ළඟා වී නොමැත. විසඳුමක් ඇත්තේ මානුෂීය කොරිඩෝව සංවිධානය කිරීම සඳහා පමණි.'' යනුවෙනි.
රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන ව්ලැඩිමීර් මෙඩින්ස්කි, පැය දෙකහමාරක සාකච්ඡාවෙන් සමහර කරුණු රුසියානු මාධ්‍ය වෙත ගෙනහැර දැක්වීය. ''අපි කරුණු තුනක් තරයේ සාකච්ඡා කර ඇත. මිලිටරි මෙහෙයුම්, ජාත්‍යන්තර සහ මානුෂීය ආධාර, සහ තුන්වැනි කාරණය ලෙස ගැටුමේ අනාගත දේශපාලන නියාමනය පිළිබඳ ගැටලුය. ඒවායින් සමහරක් පිළිබඳව එකඟ වීමට අපට හැකිය. නමුත් අද අපි එකඟතාවකට පැමිණ ඇති ප්‍රධාන කාරණය වූයේ හමුදා ගැටුම් කලාපයක සිටින සිවිල් වැසියන් බේරාගැනීම යැයි ඔහු පෙන්වා දී ඇත.
යුක්රේනය තුළ දරුණු සටන් එහි තුන්වැනි සතිය දක්වා අඛණ්ඩව පවතින අතර මුල් දින හතක් තුළ මිලියනයක් සරණාගතයින් රටින් පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා කියයි UNHCR, UN සරණාගත ඒජන්සියට අනුව මෙයට සංසන්දනාත්මකව, 2013දී සරණාගතයින් මිලියනයකට සිරියාවෙන් පිටවීමට මාස තුනක් ගතව ඇත.
දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපය සිය විශාලතම සරණාගත අර්බුදයට මුහුණ දීමට සිදුව ඇති බවට අනතුරු ඇඟවූ එම සංවිධානය යුක්රේන රජයේ නිල ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යුක්රේනය තුළ සහ අසල්වැසි රටවල ජනතාවට ආහාර ආධාර සැපයීම සඳහා හදිසි මෙහෙයුමක් දියත් කර ඇත. රුසියාවේ අඛණ්ඩ ආක්‍රමණය මධ්‍යයේ ප්‍රචණ්ඩත්වයෙන් පලා යන සරණාගතයින්ට උපකාර කිරීම සඳහා සංවිධානය ඩොලර් මිලියන 570 ක් ආධාර ලෙස ඉල්ලා සිටී.