2022 මාර්තු 27 වන ඉරිදා

සිවිල් වැසියෝ අවි අතට ගනිති

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 166

රුසියාවේ ආක්‍රමණය දෙවැනි මාසයට එළැඹෙද්දී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවට එරෙහි ජාත්‍යන්තර සහයෝගීතාවය ඉල්ලා සිටියේය. ආක්‍රමණයට එරෙහිව ගෝලීය විරෝධතාවක් අවශ්‍ය බව කී ඔහු රුසියාව උත්සාහ කරන්නේ ''ලෝකයේ සියලු මිනිසුන්ගේ'' නිදහස පරාජය කිරීමටත්, වඩා වැදගත් වන්නේ බොරතෙල් බලය පමණක් බව පෙන්වීමට බවත් කීවේය.

මේ කතාව සනාථ කරන්නට මෙන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාව සිය ගෑස් “හිතකාමී නොවන රටවලට” රූබල් වලින් විකිණීම ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමෙන් පසු බදාදා වනවිට රුසියානු රූබලය ඩොලරයට සාපේක්ෂව සති තුනකදී පත් ඉහළම අගය වන 95 දක්වා ඉහළ ගියේ, 100ට ආසන්න වීමට පෙරය. ඊට පෙර, ඩොලරයට රූබල් 80ක් පමණ මිල විය.

මේ අතර කියේව් නගරය ප්‍රමුඛ ඉදිරි පෙළේ සටන් සඳහා සිවිල් වැසියන්ද පොරකමින් සිටිති. යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා ආයුධ අතට ගැනීමට වුවමනා වූ මේ සංඛ්‍යාව කොතරම් විශාලද යත්, හමුදා ඒකක දැනටමත්  පිරී ගොසිනි. මේ නිසා සිවිල් වැසියන්ට   පොරොත්තු ලේඛනවල රැඳී සිටීමටද සිදුව තිබේ.

යුද්ධය ආරම්භ වීමට පෙර සොල්දාදුවන් 240,000ක් පමණ සිටි යුක්රේනයේ හමුදාව රුසියානු යෝධ හමුදාවන්ට එරෙහිව බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක්  අල්ලාගෙන සිටියේය. කෙසේ වෙතත් යුද අපරාධ චෝදනා එල්ල වී ඇති රුසියාව, සිවිල් වැසියන් සහ රෝහල් ඉලක්ක කර ප්‍රහාර  එල්ලකරමින් විනාශ කර නගර අතර සබඳතා කපා දැමීම නිසා යුද්ධය තීව්‍ර වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට අනුව අවම වශයෙන් සිවිල් වැසියන් 925ක් මරා දමා ඇත. නමුත් සත්‍ය සංඛ්‍යාව ඊට වඩා වැඩිවිය හැකිය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ වේගයෙන්ම වර්ධනය වන සරණාගත අර්බුදය ලෙස එක්සත් ජාතීන් විසින් හඳුන්වනු ලබන මිලියන 10කට ආසන්න උන්හිටිතැන් අහිමි ජනතාවගෙන් මිලියන 3.5ක් පමණ මේ වනවිට අසල්වැසි රටවලට අවතැන් වී ඇත.

රුසියානු හමුදා යුක්රේනයේ යුද අපරාධ සිදුකළ බවට එක්සත් ජනපදය තීරණය කර ඇති අතර, ඉකුත් බදාදාවන විට මානුෂීය කොරිඩෝවන් හරහා 4,500 කට වැඩි පිරිසක් යුක්රේන නගරවලින් ඉවත් කර ඇති බව වාර්තාවිය. නේටෝ, ජී 7 සහ යුරෝපා සංගම් සමුළු පැවැත්වීමට පෙර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බ්‍රසල්ස් වෙත ගොඩ බැස්ස අතර රුසියාවට එරෙහිව තවදුරටත් සම්බාධක තර කිරීමට අපේක්ෂා කරන බව හෙළි කළේය. යුක්රේනයට උදව් ලෙස යවන එක්සත් ජනපද ඩොලර් මිලියන 800 ක අවි පැකේජයේ පළමු තොගය නැව්ගත කිරීම මෙම සතියේදී ආරම්භ විය. මෙයට එකට එක කිරීමේ පියවරක් ලෙස එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාව කීවේය.

මේ අතර පුටින් යුක්රේනයේ රසායනික, ජීව විද්‍යාත්මක හෝ න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට නියෝග කළහොත් එක්සත් ජනපදය සහ එහි සහචරයින් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ සැලසුම් සකස් කිරීම සඳහා ධවල මන්දිරය ජාතික ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් එක්රුස් කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් කීවේය. ‘කොටි කණ්ඩායම’ ලෙස හැඳින්වෙන මෙම කණ්ඩායම යුක්රේනයට ආයුධ සහ ආධාර රුගෙන එන රථ පෙළට පහර දීම සඳහා රුසියානු ජනාධිපතිවරයා නේටෝ භූමියට ළඟා වුවහොත් ඒ වැළැක්වීමට මැදිහත් වනු ඇත.