2022 අප්‍රේල් 10 වන ඉරිදා

ට්‍රම්ප් ප්‍රංශයේ මහ පුටුවට!

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 305

අප්‍රේල් 10 වැනි දිනය ප්‍රංශයට තීරණාත්මක දිනයකි. එදා ප්‍රංශයේ ඡන්දදායකයින් ඔවුන්ගේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පොළට යනු ඇත. එයින් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ දෙවැනි පස් අවුරුදු ධුර කාලයේ ආරම්භය සිදුවන්නටද හැකිය. එසේත් නැතිනම් අනෙකුත් අපේක්ෂකයින් 12 දෙනාගෙන් කිසිවෙකු ඉදිරියට එන්නට හැකිය. නමුත් මේ වනවිටත් ප්‍රංශයේ තරුණ පිරිස සිටින්නේ කලකිරිමකිනි. මේ නිසා ප්‍රංශයේ අනාගතය වෙනසක් කරා ගෙන යන නව නායකයෙකුගේ ආගමනය සිදුවීමට ඇති ඉඩකඩ බොහෝ බව විචාරක මතයයි.

එමානුවෙල් ගෙදර ගියහොත් ඒ වෙනුවට ප්‍රංශ මහ පුටුවට පැමිණය හැකි ජනකාන්ත චරිත අතර අපූර්ව පුද්ගලයෙක්ද සිටියි. කලින් මාධ්‍යවේදියෙක් වන ඔහු දැන් මාධ්‍ය මගින්ම හඳුන්වන්නේ “ප්‍රංශයේ ඩොනල්ඩ් ට්‍රම්ප්* හැටියටය. ඔහු මුස්ලිම්වරුන්ට සහ සංක්‍රමණිකයන්ට එරෙහිව පහර දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රංශයේ  අන්ත දක්ෂිණාංශික  දේශපාලනඥයෙක්, දේශපාලන මාධ්‍යවේදියෙක් වන එරික් සෙමූර්ය. ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භයේදී ඉදිරියට එන බවක් පෙනී ගියේය. 

සෙමූර් ප්‍රංශයේ ආගමික සහ ඉස්ලාම්වැසියන් සම්බන්ධයෙන් ඔහුගේ මතභේදාත්මක අදහස් සඳහා ප්‍රසිද්ධය. ප්‍රංශයේ ස්වදේශික ජනගහනය යුරෝපීය නොවන මිනිසුන් විසින් ප්‍රතිස්ථාපනය කරනු ඇතැයි තර්ක කරන කුමන්ත්‍රණ න්‍යායක් වන මහා ප්‍රතිස්ථාපනය සඳහා ඔහු පුළුල් ලෙස සහාය දක්වා ඇත. 2011 දී වාර්ගික වෙනස්කම් කිරීම සඳහා පෙළඹවීම සහ 2018දී මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරය ඇවිස්සීම සම්බන්ධයෙන් ඔහුට දඩ නියම කරන ලදී. නමුත් අවසාන වරද මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය ඉදිරියේ සමාලෝචනය වෙමින් පවතී. ඔහු 2008, 2014 (දෙවරක්), 2016, 2017 සහ 2019 දී සමාන චෝදනාවලින් හය වතාවක් නිදොස් කොට නිදහස් කරන ලදී. ට්‍රම්ප් මෙන්ම අන්ත ජතිකවාදියෙක් වන නමුත් ඔහු තමන් ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස හඳුන්වා දෙනවාට වඩා, චරිතයේ වඩාත් සමාන කම් සහිත එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් ලෙස හඳුන්වනවාට කැමැති බව සෙමූර් කියයි.

මේ අන්දමට ඉදිරියට පැමිණිය හැකි තවත් කැපී පෙනෙන චරිතයක් වන්නේ ප්‍රංශයේ ජීවන වියදම් අර්බුදය පිළිබඳ උද්ඝෝෂණය කරන මැරින් පෙන් (Marine Le Pen) ය. සංක්‍රමණය සහ ආරක්ෂාව ඇගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කේන්ද්‍රීයව පවතින අතර, ඇයගේ වර්තමාන අවධානය යොමු වී ඇත්තේ ප්‍රංශ පුරවැසියන්ගේ සාක්කුවලට මුදල් නැවත දැමීම කෙරෙහිය.

කෙසේ වුවද කිසිදු අපේක්ෂකයෙකු සියයට පනහකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නා බව දැනට පෙනේ. ඒ අනුව අප්‍රේල් 24 වැනි දින දෙවැනි වටයේ ඡන්ද විමසීමට බොහෝදුරට මග පෑදෙනු ඇත.