පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පකිස්ථානයේ ලාහෝර්හි ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් පුද්ගලයන් හය දෙනෙකු හට මරණ දණ්ඩනය නියම කරන ලදී. තවත් 06 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කැරිණි. ඒ අතර තවත් 76 දෙනෙකුට අධිකරණය විසින් වසර දෙකේ සිට පහ දක්වා සිරදඬුවම් නියම කර තිබේ. නිතී නිලධාරීන්ට අනුව, කුමාර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 89 දෙනෙකුට නඩු පවරා ඇති අතර ඉන් එක් අයෙකු නිදොස් කොට නිදහස් කරන ලදී.
2021 දෙසැම්බර් 3 වැනි දින ඔහු කළමනාකාරීත්වය දැරූ සියල්කොට්හි කම්හලේ සේවකයන් ඇතුළු විරෝධතාකරුවන් සිය ගණනකින් සමන්විත මැර පිරිසක් විසින් කුමාර ඝාතනය කරන ලදී. මැර කල්ලිය ඔහුට වධහිංසා පමුණුවා පසුව ඔහුගේ සිරුර පුළුස්සා දමා තිබූ බව වාර්තා විය.
කුමාරගේ ඝාතනය රටපුරා මෙන්ම ලෝකයේද අවධානයට ලක් වූ ආන්දෝලනාත්මක සිද්ධියක් වූ අතර, ඝාතකයන් ප්‍රසිද්ධියේ එල්ලා මරා දමන ලෙස ඒ කාලයේම බොහෝ දෙනා ඉල්ලා සිටියහ. පකිස්ථානයේ නැගෙනහිර සියල්කොට් දිස්ත්‍රික්කයේ ඔහු කළමනාකරුවකු ලෙස කටයුතු කළ ක්‍රීඩා උපකරණ කම්හලකදී කුමාර මහතා මේ ඛේදනීය ඉරණමට ගොදුරු විය.
ඉස්ලාමයේ නබි මුහම්මද්තුමාගේ නම සහිත පෝස්ටර් කිහිපයක් අපකීර්තියට සහ අපහාස කළ පත්කළ බවට චෝදනා කරමින් කර්මාන්ත ශාලාව තුළදී කුමාරට ඔහුගේ පකිස්ථාන සේවා සගයන් විසින් මුලින් පහරදෙන ලදී. පසුව කෝපයට පත් පිරිසක් විසින් ඔහුගේ සිරුර කර්මාන්ත ශාලාවෙන් පිටතට ඇද දමා පුළුස්සා දමන ලදී.
ගතානුගතික පිළිගැනීම් බහුල පකිස්ථානයේ, ආගමික නායකයන්ට අපහාස කිරීමේ චෝදනාවක් බරපතළ මැර ප්‍රහාරවලට ආරාධනා කිරීමකි. මේ රටේ දේව අපහාසය නමැති වරදට වැරදිකරු වන ඕනෑම කෙනකුට මරණ දඬුවම නියම කරයි. පකිස්තාන රජයට දීර්ඝ කාලයක් තිස්සේ රටේ දේව අපහාස නීති වෙනස් කිරීමට නොහැකි වන ආකාරයේ බලපෑම් එල්ල වී ඇත. රුඩිකල් සුන්නි ඉස්ලාමීය පක්ෂයක් වන Tehreek-e-Labbaik Pakistan (TLP) හි ආධාරකරුවන් කුමාර ඝාතනයට වගකිව යුතු යැයි විශ්වාස කරන අතර, එකලම TLP නිල වශයෙන් මේ චෝදනා ප්‍රතික්ෂේප කළේය.
ප්‍රියන්ත කුමාර දියවඩන යනු 49 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි. වසර එකොළහක් පකිස්තානයේ ජීවත්වූ සහ වැඩකළ අයෙකි. ආගමික අන්තර්ගතයන් ඇතුළත් පෝස්ටරයක් ඉවත් කිරීම හේතුවෙන් ඔහුට මේ ඉරණම ළඟාකර දුන් බව වාර්තා විය. ඒ සම්බන්ධයෙන් ඔහුට ඒ රටේ පිළිගත් ආගමට අපහාස කළ බවට චෝදනා එල්ල විය. නමුත් පසුව අනාවරණය වූයේ එම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට නියමිතව තිබූ නිසා කුමාර විසින් පෝස්ටරය ඉවත් කර ඇති බවත්, ඒ ගැන වරදවා වටහාගත් කර්මාන්ත ශාලාවේ සේවකයන් විසින් දේව අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට වැරදි ලෙස චෝදනා කරන ලද බවත්ය. TLP හි සටන් පාඨ කියමින් සිය ගණනක් පිරිමින් මේ ඛෙදවාචකය සිදුවූ ස්ථානයේ රැස්ව සිටිනු දැකිය හැකි වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යවල ඒ දිනවල සංසරණය වීමට පටන් ගත්තේය.
මෙම ඝාතනය මෙහෙය වූ අපරාධකරුවන් දෙදෙනා ලෙස මොහමඩ් තල්හා සහ පර්හාන් ඉද්රිස් පන්ජාබ් පොලීසිය තහවුරු කරගෙන තිබුණි. මෙම ඝාතනයට කම්කරුවන් උසිගන්වා ඇත්තේ වැඩ අධිකාරිවරයා බවද පසුව අනාවරණය වීය. කම්හලේ බිත්තිවල ආගමික පෝස්ටර් අලවා තිබූ බවත් පසුව මේ පෝස්ටර් ඉරා දැමීම ගැන ප‍්‍රියන්ත කුමාර කම්කරුවන්ගෙන් සමාව අයැද සිටි බවත් එහෙත් වැඩ අධීක්‍ෂක ඔහුට එරෙහිව කම්කරුවන් උසිගන්වනු ලැබූ බවත් පොලිස් පරීක්ෂණවලදී සාක්ෂි ඉදිරිපත්ව තිබුණි.
ප‍්‍රියන්ත කුමාර ඝාතනයේ සැකකරුවන් අසුවූයේ සීසීටීවි කැමරා 160ක් විමර්ශනය කිරීමෙන් පසුවය. කම්හල අසල පිහිටි සම්බිර්යා, ඩස්කා, පෙස්රා යන ගම්වාසීන්ද ඝාතනයට සම්බන්ධ බව හෙළි වී තිබුණි. සී.සී.ටී.වී. කැමරාවලින් ගම්වැසියන් 900ක් හඳුනාගන්නට හැකිව ඇත. සිද්ධියට සම්බන්ධ වූවන් ඝාතනය සිදුකරන අයුරු මෙන්ම ප‍්‍රියන්තගේ සිරුර අසල සිට සෙල්පි ඡායාරෑපද ගන්නා අයුරු මේ දර්ශනවල සටහන්ව තිබී ඇත.
දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ලේ පදිංචිකරුවෙකි. ඔහු සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා විය. 2002 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නිෂ්පාදන ඉංජිනේරුවකු ලෙස උපාධිය ලබාගත් ඔහු 2010 වසරේ සිට පකිස්ථානයේ සේවය කරමින් සිට ඇත. ඔහු 2012 වසරේ සිට සියල්කොට්හි රාජ්කෝ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන සමාගමෙහි ඉංජිනේරු භූමිකාවේ සිට කළමනාකරු භූමිකාව දක්වා ප්‍රගතියක් ලබා තිබුණි. ඝාතනය වනවිට ඔහු සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් ඇඟලුම් කම්හලේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළේය. ඔහු නිලුෂි දිසානායක සමඟ විවාහ වී සිටි අතර වයස අවුරුදු 14 සහ 9 (2021 වනවිට) වූ පුතුන් දෙදෙනෙකුගේ පියෙකි. පන්ජාබ් ප්‍රාන්තයේ ෆයිසාලාබාද්හි රෙදිපිළි කම්හලක සේවකයන් ලෙස ඔහුගේ සහෝදරයන් දෙදෙනෙක්ද එවකට පාකිස්තානයේ සේවය කරමින් සිටියහ.
පන්ජාබ් පොලිසියේ පොලිස්පති රාඕ සර්දාර් අලි ඛාන්ට අනුව, කුමාර විසින් ඉස්ලාමීය වාක්‍ය සහිත පෝස්ටරයක් ඉරා දැමූ බව වාර්තා වීමෙන් පසු 2021 දෙසැම්බර් 3 වැනි දින රාත්‍රී 10.00 ට මිනිසුන් 800 ක පිරිසක් රාජ්කෝ කර්මාන්ත ශාලාවට රුස් වූහ. දේව අපහාසය ගැන චෝදනා කරමින් මැර පිරිස කම්හලේ වහලය මත සිටි කුමාර සොයා සොයා ගියහ. ඔවුන් ඔහුට දරුණු ලෙස පහර දෙමින් ඔහුව ඇදගෙන ගොස් ඇත. ඔහු 11.28 වනවිට මියගොස් ඇති අතර, ඔහුගේ සිරුර වසිරාබාද් පාරේදී මැර පිරිස විසින් ගිනි තබා ඇත.
සිද්ධියට සම්බන්ධ මහ මොළකරුවකු වූ ෆර්හාන් ඉඩ්‍රීස් නමැත්තා ප්‍රධාන අපරාධකරුවා ලෙස හඳුනාගත් අතර පුද්ගලයන් 100කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් ඔවුන් සියලු දෙනාම TLP සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවද අනාවරණය වී ඇත. කුමාරගේ දේහය ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා 2021 දෙසැම්බර් 6 වැනි දින ශ්‍රී ලංකාවට ගෙන්වා අවසන් කටයුතු කැරිණි.
පකිස්ථාන බලධාරීන් විසින් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළිවූයේ හිස් කබල සහ හකු කැඩීම මරණයට හේතුව බවයි. ඔහුගේ සියලුම අත්‍යවශ්‍ය අවයවවලට බලපෑම් එල්ල වී තිබූ අතර, ඔහුගේ සිරුර පුරා වධහිංසා පැමිණවීම් ලකුණු දක්නට ලැබිණි. ඔහුගේ කොඳු ඇට පෙළ ස්ථාන තුනකින් කැඩී ඇත. ඔහුගේ එක් පාදයක් හැර අනෙකුත් සියලුම ඇටකටු කැඩී ගොස් තිබුණි. ඔහුගේ සිරුරෙන් සියයට 99ක් පිළිස්සී තිබුණි.
2022 මාර්තු 12 වැනි දින, ත්‍රස්ත විරෝධී අධිකරණය (ATC) වැඩිහිටියන් අසූ දෙනෙකු සහ බාලවයස්කරුවන් නව දෙනෙකු ඇතුළු පුද්ගලයින් 89 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කළේය. චූදිතයින් 89 දෙනාම නිවැරුදිකරුවන් බව කියා සිටියහ. නඩු විභාගයෙන් අනතුරුව 2022 අප්‍රේල් 18 වැනි දින, ATC විසින් චෝදනා දෙකක් මත වරදකරුවන් හය දෙනෙකුට මරණ දණ්ඩනය නියම කරන ලද අතර, මියගිය අයගේ නීත්‍යානුකූල උරුමක්කාරයින්ට වන්දි වශයෙන් රුපියල් 200,000 ක් ගෙවීමට නියම කරන ලදී. අතර, නඩුවෙන් එක් පුද්ගලයකු පමණක් නිදොස් කොට නිදහස් කරන ලදී.
■ සුගත් පී. කුලතුංගආරච්චි