2022 මැයි 01 වන ඉරිදා

ලොව විශාලතම නිල් දියමන්තියට ඩොලර් මිලියන 57.5ක්!

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 37

මෙතෙක් වෙන්දේසියකට ඉදිරිපත් වූ ලොව විශාලතම නිල් දියමන්තිය හොංකොං ඩොලර් (HKD )450,925,000ක් හෙවත් ඩොලර් මිලියන 57.5 කට අලෙවි වී ඇත.

''The De Beers Cullinan Blue'' ලෙස නම් කර ඇති, කැරට් 15.10ක මේ දැවැන්ත මැණික  හොංකොං හි Sotheby’s හි ගැනුම්කරුවන් හතර දෙනෙකු අතර පැවැති විනාඩි අටක ලංසු තැබීමේ යුද්ධයකින් පසුව, අලෙවි විය. එහි ඉහළම ඇස්තමේන්තුව වූ ඩොලර් මිලියන 48 ඉක්මවා ගිය ජයග්‍රාහී ලංසුව පැමිණියේ නිර්නාමික ගැනුම්කරුවෙකුගෙන් දුරකථනයෙනි.

Sotheby’s Asia හි සභාපති Patti Wong ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ''එය සැබවින්ම මිනිස් පරම්පරාවකට වරක් හමුවන ගලක් වන අතර, ඉතා සරලව මා දැක ඇති   ප්‍රමාණයෙන් විශාලතම නිල් දියමන්තිය'' කියාය.

මෙම දුර්ලභ දියමන්තිය 2021 දී දකුණු අප්‍රිකාවේ කූලිනන් පතලෙන් සොයා ගන්නා ලද අතර  එය වර්ණ දියමන්ති අතර ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබා ඇත. ඒ අනුව, ඇමරිකාවේ Gemological Institute (GIA) විසින්  එහි වර්ණය ''විසිතුරු විචිත්‍රවත් නිල්'' ලෙස වර්ගීකරණය කර ඇත. මෙම  දියමන්තිය ''විශේෂයෙන් දුර්ලභ'' එකක් ලෙස විස්තර කරන Sotheby’s  වැඩිදුරටත් සඳහන් කළේ මෙම වෙන්දේසියට  මෙතෙක් කලකට ඉදිරිපත්ව  ඇත්තේ කැරට් 10ට වැඩි මැණික් පහක් පමණක් බවයි. ඒ කිසිවක්  කැරට් 15ට වඩා වැඩි වී නැත.

නමුත් එයට නියම වූ ඩොලර් 57,471,960 ක අවසාන මිල හේතුවෙන්, මෙම වෙන්දේසියේදී මෙතෙක් අලෙවි වූ මිල අධිකම දෝෂ රහිත නිල් දියමන්තිය සඳහා වූ වාර්තාව පිහිටුවීමට De Beers Cullinan Blue හට යන්තම් මඟ හැරී ගියේය. එම පිළිගැනීම  තවමත් හිමිව ඇත්තේ කැරට් 14.62ක් වූ ''Oppenheimer Blue'' නමැති මැණිකටය. එය 2016 දී අවසන් මිල ඩොලර් 57,541,779ට අලෙවි වූ අතර එය ඩොලර් 70,000 ට අඩු වෙනසකි.