වසර 40කට පසු සෝමාලියාවට බලපෑ විශාලතම ඉඩෝරය මෙන්ම දරුණුතම සාගිනි අර්බුදයට එරට මේ වනවිට මුහුණ දී සිටියි. නියඟය උග්‍ර වීම සහ ගෝලීය ආහාර මිල වාර්තාගත ඉහළම මට්ටමට ළඟා වීම හේතුවෙන් සෝමාලියාවේ ලක්ෂ දෙකකට වැඩි ජනතාවක් මේවනවිට සාගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ප්‍රකාශ කර ඇත.
අප්‍රිකාවේ ප්‍රධානතම රටක් වන සෝමාලියාවේ සිව්වැනි වැසි සෘතුවත් ඉඩෝරයට හසුවී ඇති අතර, එය වසර 40කට පසු සෝමාලියාවට බලපෑ විශාලතම ඉඩෝරය මෙන්ම දරුණුතම සාගිනි අර්බුදයටද හේතුව වී තිබේ.
පසුගිය වසරේ මැද භාගයේ සිට පවතින මේ නියඟය හේතුවෙන් සෝමාලියාවේ පශු සම්පත් මුළුමනින්ම විනාශ වී ඇති අතර, ගවයන් මිලියන තුනක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. එබැවින් මස්, කිරි සහ වෙළෙඳාම සඳහා සිය ගව පට්ටි මත යැපෙන පවුල් විශාල සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.