11 හැවිරිදි රාහුල් සාහු නම් ශ්‍රවණාබාධයකින් පෙළෙන දරුවෙක් ගෙවත්තේ ළිඳකට වැටී සිරවීමෙන් දින 5කට පසු බේරාගන්නට හැකිව ඇත. ඉන්දියාවේ චිතස්ග්‍රාහ් ගම්මානයේ අනාරක්ෂිත නළ ළිඳකට ඇද වැටී සිරවී සිටි මේ දරුවා නිරුපද්‍රිතව ගොඩට ගැනීමට හැකි වූයේ, දින 5ක් පුරා සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුවය.
මෙම දරුවා සිය ගෙවත්තේ පිහිටි මෙම නළ ළිඳට ඇද වැටී තිබුණේ ඉකුත් 10 වැනිදාය. දරුවා අතුරුදන් බවට මව්පියන්ට හැඟීයාමත් සමඟ සිදුකළ සෝදිසියකදී ඔහු නළ ළිඳට ඇද වැටී ඇති බවට දැක ඇත්තේ දරුවා හඬා වැළපෙන ශබ්දය ඇසීමත් සමඟය. ඒ අනුව ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකාය විසින් දරුවා මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර එහිදී අනාවරණ වූයේ නළ ළිඳ තුළ දරුවා අඩි 80ක පමණ ගැඹුරක සිරවී ඇති බවයි.
පසුව මෙහෙයුම් දියත් කෙරුණේ නළ ළිඳට සමාන්තරව තවත් කුහරයක් කැනීම් කර ඒ හරහා දරුවා මුදා ගැනීමටයි. ඒ අතරවාරයේ දරුවාට අවශ්‍ය ඔක්සිජන් සහ දියර ආහාර බටයක් මගින් වෛද්‍යවරුන් ලබාදී තිබුණි. දින 5ක් පුරා සිදුකළ මෙම අඛණ්ඩ මෙහෙයුම සඳහා 300කට අධික පිරිසක් සහභාගී වූහ. දරුවා රුඳී සිටි ස්ථානයට සාර්ථකව ළඟා වූ ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරීන්ට එලෙස දරුවා නිරුපද්‍රිතව මුදා ගන්නට හැකිව ඇත.
මීට පෙරද අවස්ථා කිහිපයකදී ඉන්දියාව තුළ දරුවන් නළ ළිං තුළට ඇද වැටීමේ සිද්ධීන් වාර්තා වී ඇති නමුදු එම මුදාගැනීමේ මෙහෙයුම්වලදී දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිව තිබුණේ නැත.