චීනය සහ තායිවානය අතර භූ - දේශපාලනික උණුසුම තවත් ගෝලීය යුද්ධයක් දක්වා උඩුදුවමින් තිබේ. රුසියාව දැන් යුක්රේනය ආක්‍රමණය කරනවාට වඩා, තායිවාන දිවයිනට එල්ලකරන චීන හමුදා ප්‍රහාරයක් මගින් ගෝලීය ආර්ථිකයට දැඩි හානියක් සිදුවනු ඇති බව තායිවානයේ ඉහළම මට්ටමේ වෙළඳ සහයෝගිතාකරුවෙකු පසුගියදා අණතුරු ඇඟවූයේ ඒ අතරය.
ප්‍රධාන වශයෙන් විද්‍යුත් වාහන සහ ජංගම දුරකථනවල පවා භාවිතා වන පරිගණක චිප් සඳහා සමස්ත ලෝකයම තායිවානය මත රඳා පවතින බව ඔහු පෙන්වා දී තිබේ. එනම් තාක්‍ෂණය මත රඳා පවතින ඕනෑම කර්මාන්තයක් ඇති රටවල් සඳහා චීන ආක්‍රමණයක් නිසා තායි නිපැයුම්වලට සිදුවන බලපෑම අහිතකර ලෙස බලපානු ඇති බව ඔහු පෙන්වා දෙයි. රොයිටර් වාර්තා කළේ පසුගිය වසරේ තායිවානයේ චිප් අපනයනය ඩොලර් බිලියන 118ක් වූ බවයි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ දා සිට චීනයද තායිවානය දෙසට එල්ලකරන සිය තරවටු කතා සහ මිලිටරි අභ්‍යාස වේගවත් කර ඇති අතර, චීනය තමන් ඓතිහාසික පාලනයකට හිමිකම් ඇතැයි කියන මේ දූපත ආක්‍රමණය කිරීමට කටයුතු කරනු ඇතැයි යන බිය ගෝලීයව පතුරවා හමාරය.
මේ වනවිටද රුසියාවේ ආක්‍රමණය ලොවපුරා ආර්ථික කම්පනයක් හටගන්වා, තෙල් හා ගෑස් මිල තියුණු ලෙස ඉහළ නංවා ඇති අතර ආහාර අපනයන තහනම් කිරීම් මැද ලෝකයේ බොහෝ රටවලට සාගතයේ බිය මතුකර ඇත.
මේ අතර චීනය, තායිවානය ආක්‍රමණය කළහොත් එය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය කැමැත්තෙන් සිටින බව පසුගිය මාසයේ ප්‍රකාශ කිරීමෙන් ජනාධිපති බයිඩන් කර ඇත්තේ චීනයසහ තායිවානය අතර ඇවිළී ගිය ගින්නට පිදුරු දැමීමකි. එක්සත් ජනපදය තවමත් “එක් චීනයක්” ප්‍රතිපත්තිය අනුගමනය කරන බවත් එහි ස්ථාවරය වෙනස් කර නොමැති බවත් පසුව ධවල මන්දිරය මේ ගැන පැහැදිලි කරමින් එකතු කළේය.
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවන ලද කොමියුනිස්ට්වාදීන් සමඟ ඇති වූ සිවිල් යුද්ධයකින් පරාජයට පත් වූ චීන සමූහාණ්ඩුවේ රජය 1949 දී තායිවානයට පලා ගියදා සිට තායිවාන් සමුද්‍ර සන්ධිය නිරන්තර හමුදා ආතතියේ මූලාශ්‍රයක් විය. 1979 තායිවාන සම්බන්ධතා පනත අනුව තායිවානය ආරක්ෂා කර ගැනීමට එක්සත් ජනපදයට කැපවන නමුත් සෘජු එක්සත් ජනපද මැදිහත්වීම් සඳහා කැප නොවන අතර ඇමරිකාව එම දිවයිනේ ස්වාධීනත්වය පිළිබඳ &උපායමාර්ගික නමුත් අපැහැදිලි* ස්ථාවරයක් පවත්වා ගෙන යයි.
බයිඩන් සිය අදහස් දැක්වීමෙන් පසුව, චීනය තායිවානය අසල තමන් මිලිටරි අභ්‍යාස පවත්වන බව නිවේදනය කළ අතර, ජාත්‍යන්තර විචාරකයෙකු පැවසුවේ “එය මෑත අමෙරිකා සහ තායිවාන හවුල් ක්‍රියාකාරකම්වලට බරපතල අනතුරු ඇඟවීමක්” වූ බවයි.