බ්‍රිතාන්‍යය පුරා බැංකු ශාඛා වලින් අලුත්ම පන්නයේ ATM මගඩියක් වාර්තා වී ඇත. ATM යන්ත්‍ර මගින් බැංකු කාඩ්පත් උදුරාගෙගන පසුව ඒ කාඩ්පත් වංචනිකයින් විසින් භාවිත කිරීම සඳහා අනුපිටපත් කරන නව සොරකමක් ගැන මේ මගඩිය ඔස්සේ අනාවරණය වීමෙන් පසු බ්‍රිතාන්‍යය පුරා ATM භාවිත කරන්නන්ට පොලීසිය දැඩි ලෙස අනතුරු අඟවා තිබේ. යන්ත්‍රය අවහිර වී ඇති බව කීමෙන් හෝ යන්ත්‍රය මගින්කාඩ් පත ඒ කිසිදු පුර්ව අනතුරු ඇඟවීමක් නැතිව වැඩිවේලාවක් රඳවා ගැනිමෙන් මේ වංචාව සිදුකර ඇති බව වාර්තාවේ.
සිද්ධිය බහුලව වාර්තාවූ හර්ට්ෆෝර්ඩ්ෂයර්හි වින්දිතයින් රාශියක් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ කාඩ්පත් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් රඳවාගෙන ඇති බවයි. ඒ අතර වෙනත් යන්ත්‍රයක් භාවිතා කර සමහර විට මිනිත්තු කිහිපයක් ඇතුළත වංචනිකයින් ඔවුන්ගේ ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති බව පසුව ඔවුන්ට සොයාගන්නට ලැබී ඇත.
එවන් සිද්ධියකට මුහුණ පෑ එක් වින්දිතයෙකු පැවසුවේ ATM යන්ත්‍රයක ඇගේ කාඩ්පත ලබාගත නොහැකි බවට පණිවිඩයක් තිරය මත දිස්වීමටත් පෙර එය යන්ත්‍රය මගින් උදුරාගෙන තිබූ බවය. ඇය එම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය අසල සිට සිය බැංකුවට දුරකථනයෙන් කතා කරන මොහොතේත් ඇගේ කාඩ්පතින් ඒ අසල වෙනත් යන්ත්‍රයකින් පවුම් 35 ක් වටිනා මුදල් ආපසු ගැනීම් දෙකක් සිදුකර ඇති බව පසුව ඇයට සොයාගැනීමට හැකිව ඇත. පසුව වෙනත් ස්ථානයකදී තවත් උත්සාහයක යෙදී ඇති ඇති නමුත් ඒ වනවිට ඇය කාඩ්පත අවහිර කර තිබී ඇත.
හර්ට්ෆර්ඩ්ෂයර් හි පොලිසිය ජනවාරි මාසයේ සිට තවත් එවැනිම සිද්ධීන් තුනක් වාර්තා කර ඇති අතර ඒවා එකිනෙක සම්බන්ධ බව පෙනී යන බව ඔවුන් කියයි. ඒ අනුව ශාන්ත ඇල්බන්ස් හි මුදල් මධ්‍යස්ථානයකදී භාවිතා කරන ලද කාඩ්පතක් ඒ අන්දමට යන්ත්‍රය මගින් රඳවාගෙන ඇති අතර එහි රහස්‍ය විස්තර, පසුව වෙනත් ATM යන්ත්‍රවලින් මුදල් ගැනීමට භාවිතා කර ඇති බව සොයාගන්නා ලදී.
හර්ට්ෆෝර්ඩ්හි ATM යන්ත්‍රයක කාඩ්පතක් තැබූවිට, තිරය ඉලක්කම් හයක ආරක්ෂක කේතයක් ඉල්ලා සිටියේය. වින්දිතයා PIN අංකය ඇතුළත් කළේය. වහාම ඔහුගේ ගිණුම පරීක්ෂා කිරීමේදී ඒ මොහොතේම වෙනත් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් ගනුදෙනු තුනක් සිදුකර ඇති බව ඔහුට සොයා ගන්නට ලැබී ඇත. තවද Hoddesdonහි යන්ත්‍රයක කාඩ්පතක් රඳවාගෙන තිබියදීම වෙනත් ATM යන්ත්‍රයකින් අට වතාවක් එය විස්මිත ලෙස භාවිතා කර ඇති බව සොයාගන්නා ලදී.
හර්ට්ෆර්ඩ්ෂයර් සයිබර් වංචා පිළිබඳ ආයතනයේ රහස් පරීක්ෂක සාජන් මාර්ක් ෆාවා පවසන්නේ, මෙම සොරකම් සිදුකරනු ලබන්නේ යන්ත්‍රයේ කාඩ්පත් ඇදගන්නා ස්ලොට් මත තබා ඇති උපාංගයක් මගින් කාඩ්පත් විස්තර ස්කෑන් කර දත්ත සම්ප්‍රේෂණය කිරීමෙන් බව පෙනෙන බවය. පසුව කාඩ්පත ආපසු ලබාදීම සාපරාධී ලෙස අවහිර කරන බවය.
ඔබේ කාඩ්පත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මගින් රඳවාගෙන තිබේ නම්, ඔබේ බැංකුව අමතා එය වහාම අක්‍රීය කිරීමට හෝ අවලංගු කිරීමට ඉල්ලා සිටින්න. එසේම වැඩි ආරක්ෂාවක් ඇති බැවින් බැංකු ශාඛා තුළ පිහිටා ඇති යන්ත්‍ර භාවිතා කිරීම වඩාත් ආරක්ෂිත විය හැකි යැයි පොලිසිය උපදෙස් දී තිබේ. එසේම ඔබේ කාඩ්පත ඇතුල් කිරීමට පෙර, අංක පෑඩය මත යමක් එකතුකර තිබේද හෝ සිරවී ඇත්දැයි පරීක්ෂා කිරීමට වග බලාගන්න යැයි පොලීසිය කියයි.