2022 ජුලි 03 වන ඉරිදා

ඉතිහාසගත ගංවතුරෙන් බංග්ලාදේශයේ ලක්ෂ 70ක් අනාථයි!

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 193

මතක ඇති කාලයකට දකුණු ආසියාවට බලපෑ දරුණුතම ගංවතුරට දැන් බංග්ලාදේශයේ මිලියන 7කට අධික ජනතාවක් ගොදුරු වී හමාරය. ඔවුහු නවාතැන් සහ හදිසි සහන අවශ්‍යව සිටිති.

බංග්ලාදේශ-ඉන්දියා දේශසීමා ආසන්නයේ ලක්ෂ සංඛ්‍යාත නිවාස ජලයෙන් යටව පවතින අතර දරුණුතම බලපෑමට ලක්වූ ප්‍රදේශවල මුළු ප්‍රදේශම යටවී ඇති බව සහන ආයතන ඉකුත් අඟහරුවාදා ප්‍රකාශ කළේය.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව අප්‍රේල් මාසයේ ආරම්භ වූ ගංවතුර තත්ත්වයෙන් පසු බංග්ලාදේශ-ඉන්දියා දේශසීමා ආසන්නයේ අවම වශයෙන් පුද්ගලයින් 207 දෙනෙකු මියගොස් තිබේ.

ජාත්‍යන්තර රතු කුරුස සහ රතු චන්ද්‍රවංක සංගම් සම්මේලනය (IFRC) පවසන පරිදි, ධාරානිපාත වර්ෂාව හේතුවෙන්, ඉන්දියාවේ මේඝාලයා Meghalaya, ප්‍රාන්තයට මායිම් වූ බංග්ලාදේශයේ ගංගා පිටාර ගලමින්, ප්‍රදේශය ජලයෙන් යටවී ඇත. බංගලිදේශ රතු චන්ද්‍රවංක සංගමයේ මහලේකම් Kazi Shofiqul Azam පැවසුවේ ''මෙවැනි ගංවතුරක් මින්පෙර එම කලාපයේ අපගේ ජීවමාන මතකයන් තුළ කිසි දිනෙක රැඳී නැත'' කියාය.

සේව් ද චිල්ඩ්රන් ආයතනය පෙන්වා දුන්නේ ගංවතුර හේතුවෙන් ''නිවාස, පාසල් සහ ජීවනෝපාය මාර්ගද සියල්ලම සේදී ගොස් ඇති'' බවය. බංග්ලාදේශයේ සුනම්ගන්ජ් නගරයෙන් 94%ක් සහ අවට සිල්හෙට් දිස්ත්‍රික්කයෙන් 84%ක් පමණ දැන් ජලයෙන් යට වී ඇති බව IFRC පවසයි. ඒ කලාපයට යන මාර්ග බොහෝ දුරට අවහිර වී ඇති අතර ගංවතුර නොමැති ප්‍රදේශවල පවා විදුලිය විසන්ධි වී තිබේ. මැයි මාසයේදී පමණක් සිල්හෙට්හි අවම වශයෙන් නිවාස 93,000කට සහ ප්‍රාථමික පාසල් 419කට හානි සිදුව ඇති බව සහන ආයතන වාර්තාකර ඇත.

බංග්ලාදේශයේ ගංගා 700ක් පමණ ඇති අතර, ආන්තික කාලගුණික සිදුවීම්වලදී ඒ රට ගංවතුරට විශේෂයෙන් ගොදුරු වේ. IFRC ඇස්තමේන්තු කර ඇති ආකාරයට මේ වනවිට බංග්ලාදේශයේ ආධාර අවශ්‍ය මුළු පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 7.2කි. මේ අතර, බංග්ලාදේශයට අසල්වැසි නැගෙනහිර ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් 270,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවද බලධාරීහු පවසති.