2022 ජුලි 17 වන ඉරිදා

දලයි ලාමාට අමෙරිකා සහාය!

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 121

සිය සම්ප්‍රදායයන් ආරක්ෂා කර ගැනීමට ටිබෙට් වැසියන් ගන්නා උත්සාහයට සහයෝගය දෙන බව අමෙරිකාව ප්‍රකාශ කර ඇත. එරට අධ්‍යාත්මික නායක දලයි ලාමාගේ 87 වැනි දිනය නිමිත්තෙන් උපන්දින සුබපැතුම් එක් කරමින් පණිවුඩයක් නිකුත් කළ අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ ප්‍රකාශය සිදු කර ඇත. පසුගිය 6 වැනිදාට යෙදී තිබූ දලයි ලාමාතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඔහු දැනට පදිංචිව සිටින ඉන්දියාවේ හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ධරම්සාලාහිදී ද විශේෂ උත්සව රුසක් පවත්වා තිබේ.

සාමය ප්‍රවර්ධනය කිරීම, අන්තර් ආගමික සහජීවනය දිරිමත් කිරීම සහ ටිබෙට් භාෂාව සහ සංස්කෘතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමෙන් දලයි ලාමාතුමා සහ ඔහු අනුදත් ප්‍රතිපත්තීන් ටිබෙට් ජාතිකයන්ට පමණක් නොව ලොව සෙසු ආගමික ප්‍රජාවටද ආදර්ශයක් බව අමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සුවිශේෂ සංස්කෘතියකට හිමිකම් කියන ටිබෙට් ජාතිකයන්ට ඔවුන්ගේ ආගමික නායකයන් තෝරා ගැනීමට ඇති අයිතියට අමෙරිකාව සහාය දක්වන බවත් එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.