2022 ජුලි 24 වන ඉරිදා

ඉන්දියාවේ ජනාධිපති ධුරයට ආදිවාසි ජන නියෝජිතවරියක්!

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 301

ඉන්දියානු ඉතිහාසයේ මුල්වරට  එරට  ජනාධිපති ධුරයට ගෝත්‍රික කාන්තාවක් පත්විය. 2022 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව 64, හැවිරිදි ද්‍රෞපදී මුර්මු - Droupadi  Murmu මැතිණිය ජාතියේ පළමු පුරවැසියා සහ ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්හි උත්තරීතර අණදෙන නිලධාරියා බවට පත් වූ දෙවැනි කාන්තාව සහ පළමු ආදිවාසි ජන නියෝජිතවරිය බවට පත්වූවාය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ජනාධිපති අපේක්ෂිකාව වූ ද්‍රෞපදි මුර්මු   ඉතිහාසයට එක්වූයේ, හිටපු ජනපති රාම්නාත් කෝවින්ද් තෝරා ගැනීමෙන්  පසු පැය 10කට වැඩි කාලයක් අඛණ්ඩව පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසිමකිනි. පාර්ලිමේන්තුවේ ඡන්ද ගණන් කිරීමේදී සියයට 64කට වඩා වලංගු ඡන්ද ලබා ගැනීමෙන්,  විපක්ෂයේ අපේක්ෂක යෂ්වන්ත් සිංහාට වඩා විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇය ජයග්‍රහණය කළාය.   ඇය ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා බවට පත්වීමට සිංහාගේ ඡන්ද 3,80,177ට එරෙහිව ඡන්ද 6,76,803ක් ලබා ගත්තාය.

මුර්මු ඉතා කුඩා කාලයේ සිටම පුරෝගාමිනියක වූ කැපී පෙනෙන චරිතයකි. 1958 දී, ඔඩීෂා ප්‍රාන්තයේ මයුර්බන්ජ් දිස්ත්‍රික්කයේ උපර්බෙදා පංචායතනයට අයත් ආදායම් ගම් හතෙන් එකක් වන උපර්බෙඩාහි ආදිවාසි සන්තාල් පවුලක උපත ලද ඇය ඒ ගමෙන් උසස් කාන්තා විද්‍යාලයකට (රාමදේවි කාන්තා විද්‍යාලය) ගිය පළමු දැරිය වූවාය. ඒ ගමෙන් දේශපාලනයට පිවිස ආණ්ඩුකාරවරියක, ඇමැතිවරියක සහ දැන් ජනාධිපතිවරියක වූ පළමු තැනැත්තියද ඇයයි.

දේශපාලනයේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට පෙර, මුර්මු මයූර්බන්ජ් හි රයිරන්ග්පූර්හි ශ්‍රී අරොබින්දෝ සමෝධානික අධ්‍යාපන මධ්‍යස්ථානයේ ගුරුවරියක් වූ අතර පසුව ඔඩීෂා රජයේ වාරිමාර්ග හා විදුලිබල දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සහකාර ලෙස සේවය කළාය.

මුර්මු 1997දී රයිරන්ග්පූර් නගර් පංචායතනයට මැතිවරණයකින් ජයග්‍රහණය කළ අතර මන්ත්‍රීවරයා ලෙස සේවය කළේය. ඇය 2000 සහ 2004 දී ඔඩිෂා සභාවට වාර දෙකකට තේරී පත් වූ අතර 2000 සිට 2004 දක්වා මහ ඇමති නවීන් පට්නායික්ගේ BJD-BJP සභාග ආණ්ඩුවේ ඇමතිවරියක් ලෙස සේවය කළාය. මුර්මු 2015 දී ජාර්කන්ඩ්හි පළමු කාන්තා ආණ්ඩුකාරවරිය ලෙස දිවුරුම් දුන්නාය

ඇය ප්‍රාන්ත රජය තුළ වාණිජ හා ප්‍රවාහන අමාත්‍යාංශය සහ පසුව ධීවර හා සත්ව පාලන අමාත්‍ය ධුරය දැරුවාය. ඔඩීෂා ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස ඇය ප්‍රාන්තයේ උප කොට්ඨාශ 58 තුළම ප්‍රවාහන කාර්යාල පිහිටුවීමේ ගෞරවයට පාත්‍ර විය. මුර්මු භාරතීය ජනතා පක්ෂයේ උපලේඛනගත ගෝත්‍රික මෝචාහි උප සභාපති ලෙසද කටයුතු  කළාය.  

මුර්මු, සන්තාල් ආදිවාසී නායකයෙකු සහ පොදුවේ කාන්තාවන් මෙන්ම ඇගේ ප්‍රජාව   මුහුණ දෙන ගැටලු පිළිබඳව විසඳුම් සෙවීමට නිතර ක්‍රියාකාරී වූ ආශ්වාදජනක චරිතයකි.
 

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00