2022 ජුලි 24 වන ඉරිදා

තාප තරංග මැද යුරෝපය දැවෙයි!

2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00151

මේ වනවිට යුරෝපය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් වාර්තා බිඳ දැමූ උෂ්ණත්වයෙන් පීඩා විදිති. ගම්බද ප්‍රදේශ හරහා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඉතාලියේ, ග්‍රීසියේ සහ ප්‍රංශයේ සමහර ප්‍රදේශ දුමෙන් වැසී ගොස් තිබේ. උග්‍ර රස්නයේ පීඩාවට පත්ව සිටින දහස් ගණනක් තම නිවෙස්වලින් පිටතට ගොස් තිබුණි. ළමා රෝහලකින්ද ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 600 දෙනකු ඉවත් කර ඇති බව බලධාරීහු පවසති.

එක්සත් රාජධානියේ වාර්තා බිඳ දැමූ ඉහළම උෂ්ණත්වය වාර්තා වීමත් සමඟ අධික තාපය තරංගයක් ලෙසින් මහාද්වීපය හරහා නැගෙනහිර දෙසට ගමන් කරමින් ඇත.‍ ජර්මනිය, හංගේරියාව සහ ඉතාලියේ ෆැරන්හයිට් අංශක 100 (සෙල්සියස් අංශක 38කට ආසන්න) උෂ්ණත්වයක් වාර්තා විය හැකි බව පුරෝකථනය කර තිබුණි.

යුරෝපීය වනාන්තර ගිනි තොරතුරැ පද්ධතිය (EFFIS) පැවසුවේ යුරෝපීය රටවල් 19ක්   ලැව්ගිනි අවදානම සඳහා "අතිශයින් අනතුරැදායක" මට්ටමක සිටින බවත්, නිරිත දෙසින් පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ සිට ගිනිකොණ දෙසින් ඇල්බේනියාව සහ තුර්කිය දක්වා විහිදෙන විශාල ප්‍රදේශයක් හරහා මේ තත්ත්වය බලපැවැත්විය හැකි බවත්ය.

ග්‍රීක අගනුවර වන ඇතන්ස්හි තදාසන්න ප්‍රදේශයේ, ගිනි නිවන භටයන් විශාල ගිනිදැල්වලට මුහුණ දෙමින් සිටින අතර එහිදී තද සුළඟ ගිනිදළු සහ දුමාරය අවුස්සා  ගින්න පාලනය කිරීමේ ප්‍රයත්නයන්ට බාධා කරයි.