2022 අගෝස්තු 21 වන ඉරිදා

සල්මන් රුෂ්ඩ් මනා සුවයෙන්

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 90

බටහිර නිව් යෝක් හි සිදුවූ පිහි ඇනුමකින් පසු දරුණු තුවාල ලබා රෝහල් ගතව සිටි සම්මානලාභී ගත් කතුවර සල්මන් රුෂ්ඩි මේ වනවිට මනා සුවයෙන් පසුවන බව වාර්තා වේ. 75 හැවිරිදි රුෂ්ඩි, නිව් යෝක් හි Chautauqua ආයතනයේ පැවැත්වීමට නියමිතව තිබූ දේශනයකට සහභාගිවීමට ගිය අවස්ථාවේ කඩාපැන්න පුද්ගලයෙකු කිහිප වතාවක්ම ඔහුට පිහියෙන් ඇන තිබූ හෙයින් හදිසි ශල්‍යකර්මයකට භාජනය කැරිණි.

කතුවරයාගේ බෙල්ලට පිහියෙන් ඇනීමෙන් තුවාල තුනක්ද, ඔහුගේ බඩට පිහියෙන් ඇන තුවාල හතරක්ද, ඔහුගේ දකුණු ඇස සහ පපුව සිදුරු කළ  තුවාල  සහ ඔහුගේ දකුණු කලවයේ තුවාලයක්ද මේ ප්‍රහාරයෙන් ඇති විය.

ප්‍රහාරයේ සැකකරු, 24 හැවිරිදි Hadi Matar ලෙස හඳුනාගෙන ඇත. ප්‍රේක්ෂකයින් සහ කාර්ය මණ්ඩලය විසින් සැකකරු අල්ලාගෙන ඔහු අත්අඩංගුවට පත්වනතුරු  බිමට  හිර කර ගෙන සිට ඇත. පසුව තමන් මේ ප්‍රහාර චෝදනාව පිළි නොගන්නා බව ඔහු කියා තිබුණි.

සිකුරාදා මෙම සිද්ධියෙන් පසු රෂ්ඩි සඳුදා වනවිට හොඳ සිහියෙන් සිටි බවත්,  විමර්ශකයින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට හැකි වූ බවත් වාර්තා වේ. නමුත් සාහිත්‍ය ලෝකය කම්පා කළ සහ ලොවපුරා ක්ෂණික හෙළා දැකීමට තුඩුදුන් මෙම ප්‍රහාරයෙන් පසුව රුෂ්ඩි විමර්ශකයින්ට පැවසූ දේ තවමත් අපැහැදිලිය. 1988 වසරේදී ඔහු විසින් ලියන ලද සැටනික් වර්සස් නවකතාවෙන් ඉස්ලාමයට අපහාසයක් සිදු වූ බව කියමින් ඉරානයේ එවකට සිටි අාධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි සල්මාන් රුෂ්ඩිට මරණ දණ්ඩනය නියම කර තිබිණි. ලෙබනනයේ උපන් ප්‍රහාරකයා මුස්ලිම් ජාතිකයෙක්, වන අතර ඔහුගේ මව පැවසුවේ, දළ වශයෙන් වසර හතරකට පෙර ලෙබනනයට ගිය ගමනේ සිට මාටර් වඩාත් ආගමික වූ බවයි. තමන්ව වඩාත් දැඩි මුස්ලිම් හැදියාවක් තුළ ඇති දැඩි නොකිරීම ගැන ඔහු ඇයව විවේචනය කළ බවත්ය.