ක්වාලාලම්පූර් මහාධිකරණය මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ අවසන් අභියාචනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඩොලර් බිලියන ගණනක මුදල් විශුද්ධිකරණ වංචාව සම්බන්ධයෙන් සිරගත වීමට නියමිතය. ඒ අනුව ඔහු සිරගත වීමකට ලක්වූ පළමු මැලේසියානු අගමැතිවරයා බවට ඉතිහාසගත වේ.
2009 සිට 2018 දක්වා මැලේසියාවේ අගමැති ලෙස කටයුතු කළ නජීබ් රසාක් 2020 දී මුදල් විශුද්ධිකරණය, බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් වැරැදිකරු විය. ඔහු දැන් වසර 12 ක සිර දඬුවමක් ආරම්භ කරනු ඇත. නජීබ් දිගින් දිගටම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති නමුත් මැලේසියාවේ මහාධිකරණයේදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඔහුගේ අවසාන අභියාචනයද ප්‍රතික්ෂේප කරන ලදී. හිටපු අගමැතිවරයාට මැලේසියානු රිංගිට් මිලියන 210ක (ඩොලර් මිලියන 46.94ක) දඩයක්ද නියම විය.
ඔහු විසින් පිහිටුවන ලද රාජ්‍ය අරමුදලක් වන SRC ඉන්ටර්නැෂනල් වෙතින් රිංගිට් මිලියන 42ක් (ඩොලර් මිලියන 10.1), ඔහුගේ පුද්ගලික බැංකු ගිණුමට මාරැකිරීම සම්බන්ධයෙන් බලය අයුතු ලෙස පරිහරණය කිරීම, මුදල් විශුද්ධිකරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් 2020 ජූලි මාසයේදී පහළ අධිකරණයක් විසින් නජීබ් වරදකරු බව තීරණය කළේය. එම අරමුදලට ලැබුණු තවත් ඩොලර් බිලියන ගණනක් ගිණුම්වලට ඇතුළත් කර නොමැත. හිටපු අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ රොස්මා මැන්සෝ (Rosmah Mansor) සතුව තිබූ ඩොලර් මිලියන 273ක් පමණ වටිනා ආභරණ, අත්බෑග් සහ මුදල් ද පොලිසිය සිය භාරයට ගෙන තිබුණි. ඒ අතර ඩොලර් මිලියන 1.6ක රන් සහ දියමන්ති මාලයක්, කුඩා ඔටුනු 14ක් සහ හර්මීස් (Hermes) වර්ගයේ අත්බෑග් 272 තිබී ඇත. මැලේසියානු ඉතිහාසය තුළ අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමක් ඇති භාණ්ඩ තොගය මෙය වන බව පොලිසිය වාර්තාකර තිබුණි.