ඉපැරුණි සෝවියට් සංගමයේ 1985 සිට 1991 දක්වා සිටි අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෙව් වයස අවුරුදු 91දී මිය ගියේය. දරුණු හා දිගුකාලීන රෝගාබාධයකින් පසුවූ ගොර්බචෙව් මියගිය බව රුසියානු රාජ්‍ය පුවත් සේවා වාර්තා කළේය. ඔහුගේ සිරුර මොස්කව්හි නොවොඩෙවිචි සුසාන භූමියේදී ඔහුගේ බිරිඳ අසල තැන්පත් කිරීමට නියමිතය.
සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට ප්‍රධාන දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සහ සීතල යුද්ධය අවසන් කිරීමට උපකාර කිරීම සම්බන්ධයෙන් සෝවියට් දේශයේ මෑතකාලීන පෙරළිකාරයා ලෙස ගෞරවයට මෙන්ම විවේචනයටද පාත්‍ර වූ පුද්ගලයා වූ ඔහු කලක් තිස්සේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සිටියේය. සියලුම ලෝක නායකයින් ගොර්බචෙව්ට එකසේ උපහාර දැක්වූ අතර, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඔහුව &විශිෂ්ට දැක්මක් ඇති මිනිසෙකු* ලෙසට ප්‍රකාශයක් කළේය. ඔහු සාමයේ මිනිසා ලෙස ලෝකයේ පිළිගැනීමට ලක්වූ අයෙකි.
ගොර්බචෙව් ඔහුගේ විවෘත, සුහදශිලී ස්වභාවය සමඟින්, එතෙක් බොහෝදුරට දුරස්ථ, තදබද පුද්ගලයන් ලෙස දිස්වූ සෝවියට් නායකයින්ගේ පැරැණි අච්චුව බිඳ දැමීය. ඔහුගේ නායකත්වයේ ආරම්භයේ සිටම, ඔහු රටේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා වෙහෙසුණේය. එබැවින් ඔහුගේ යුගයේ ප්‍රධාන ප්‍රසිද්ධ වාක්‍ය ඛණ්ඩ දෙක වූයේ ‘විවෘතභාවය^ (glasnost) සහ ප්‍රතිව්‍යුහගත කිරීම (perestroika)ය. ලෝක නිරායුධකරණය න්‍යෂ්ඨික අවිහරණය සඳහා දැක්වූ කැපවීම සම්බන්ධයෙන් 1990දී ඔහුට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී.
ඔහු 1931 මාර්තු 2 වැනි දින ස්ටැව්‍රොපොල් අසල ගොවි පවුලක උපත ලැබූ අතර පිරිමි ළමයෙකු ලෙස ඔහු තම අධ්‍යයන කටයුතු සමඟ ගොවිතැන් වැඩද කළේ, ඒකාබද්ධ අස්වනු නෙලන යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වූ ඔහුගේ පියා සමඟ එකතුවය. ඔහු 1952දී කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වූ අතර 1955 දී මොස්කව් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය සම්පූර්ණ කළේය. ඔහු පසුව විවාහ වූ රයිසා ටයිටරෙන්කෝ මුණගැසුණේ මෙහිදීය.
1960 ගණන්වල මුල් භාගයේදී ගොර්බචෙව් ස්ටාව්රොපොල් කලාපයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට පත්විය. දශකය අවසන් වනවිට ඔහු කලාපයේ පක්ෂ ධූරාවලියේ ඉහළට පැමිණ සිටියේය. ඔහු සෝවියට් සංගමයේ කොමියුනිස්ට් කොටසේ ප්‍රධාන ප්‍රතිපත්ති සැකසීමේ ආයතනය වන දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් වන මිහායිල් සුස්ලොව් සහ යූරි ඇන්ඩ්‍රොපොව්ගේ අවධානයට ලක් වූ අතර ඒ අනුව ඔහු 1971දී මධ්‍යම කාරක සභාවට තේරී පත් විය.
පක්ෂය මගින් ලබාදුන් විදේශ සංචාරයක යෙදුණු පසු 1978දී ගොර්බචෙව් නැවත මොස්කව් වෙත පැමිණි අතර ඊළඟ වසරේ ඔහු දේශපාලන මණ්ඩලයේ අපේක්ෂකයෙකු ලෙස තෝරාගන්නා ලදී. 1980 සිට පූර්ණ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ගොර්බචෙව්, 1982දී ඔහුගේ උපදේශකයා වූ ඇන්ඩ්‍රොපොව්, ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්ගේ අනුප්‍රාප්තිකයා ලෙස පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයට පත් වූ විට වඩාත් බලගතු විය. ඔහු දූෂණයේ සහ අකාර්යක්ෂමතාවයේ සතුරෙකු ලෙස කීර්තියක් ගොඩනඟාගත් අතර අවසානයේ 1985 මාර්තු මාසයේදී පක්ෂයේ ඉහළම ස්ථානයට පත්විය. ඔහු අමෙරිකාව සමග සාර්ථකව නිරායුධකරණ සාකච්ඡාවන්ට යොමුවූ අතර බටහිර කීර්තිමත් නමක් දිනා ගත්තේය. නමුත් සෝවියට් සංගමය තුළ එකමුතුව රුක ගැනීම සඳහා ඔහුට හැකියාවක් නොලැබුණි. ඔහුගේ ප්‍රතිසංස්කරණ විවේචනයට ලක්විය.
1991 අගෝස්තු මාසයේදී දැඩි මතධාරීන් ගොර්බචෙව් සහ ඔහුගේ පාලනයට එරෙහි කැරුල්ලක් දියත් කළහ. සෝවියට් සංගමය බිඳවැටීම ඇරඹුණි. සෝවියට් සංගමය පුරා, ජනරජ එකින් එක ස්වාධීනත්වය ප්‍රකාශ කරමින් සිටි අතර 1991 දෙසැම්බර් 25 වැනි දින ගොර්බචෙව් සෝවියට් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය.
නැවතත් 1996දී ගොර්බචෙව් රුසියානු ජනාධිපති ධුරය සඳහා යෙල්ට්සින්ට එරෙහිව තරග කළ නමුත් ඡන්ද වලින් 1% කට වඩා අඩුවෙන් ලබා ගත්තේය. ඉන් වසර තුනකට පසු, ගොර්බචෙව්ට ඔහුගේ 46 හැවිරිදි බිරිඳ රයිසා පිළිකාවකින් අහිමි විය. 2007 දී, ඔහු නව රුසියානු දේශපාලන ව්‍යාපාරයක් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමයේ ප්‍රධානියා බවට පත්විය. පසුව එය රුසියාවේ විපක්ෂයේ ප්‍රධානතම ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බවට පත්වීය.
ගොර්බචෙව් සිය රටේදීට වඩා වෙනත් රටවල ගෞරවයට පාත්‍ර වූ නායකයෙකි. රුසියාවේදී, සෝවියට් අධිරාජ්‍යය විනාශ කිරීම සම්බන්ධයෙන් ඇතැමුන් ඔහුට නින්දා කරනු ලැබූ අතර තවත් අය විසින් කොමියුනිස්ට්වාදයේ ග්‍රහණයෙන් තම ජාතිය මුදාගැනීම සඳහා ඉතා සෙමින් ක්‍රියාකිරීම ගැන ඔහුට නින්දා කරනු ලැබීය. කෙසේ වෙතත්, බටහිර රටවල ඔහු සීතල යුද්ධය අවසන් කිරීමට උදව් කළ නොබෙල් සාම ත්‍යාගලාභියා ලෙස නමක් දිනා ගත්තේය.