2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

රජ පවුල නැවතත් භීතියට පත්කළ ආදිපාදවරියගේ දිනපොත් නාටකය!

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 273

හැරී කුමරුගේ  අමෙරිකානු බිරිය මේගන් කුමරිය එංගලන්ත රජ පවුල නැවතත් භීතියට පත්කර තිබේ. ලෝක මාධ්‍ය මේ අලුත් භීතියට හේතුව විස්තර කර ඇත්තේ  “ආදිපාදවරියගේ දිනපොත් නාටකය” හැටියටය.

සසෙක්ස්හි ආදිපාදවරියද වන මේගන් මාක්ල් එක්සත් ජනපද ජනප්‍රිය සඟරාවක් වන “CUT'' සමඟ කළ ඇයගේ නවතම සම්මුඛ සාකච්ඡාවේදී හෙළිකර ඇත්තේ  ඇය රාජකීය තනතුරු දරන අතර ලැබුණු ආරංචි, එදිනෙදා සිදුකළ කාර්යයන් සහ මුහුණ පෑ සිද්ධි  දිනපතා සටහන් තැබූ බවයි. එය මාලිගාවට සහ රාජකීයයන්ට පමණක් සීමා වූ රහස් සෙසු ලෝකයාට හෙළිකරන සරුවට අලෙවි වන අඳුරු මතක සටහනක් ලෙස ඇය ඉදිරියේදී ප්‍රකාශයට පත්කළ හැකි බවට දැන් ජ්‍යෙෂ්ඨ රාජකීයයෝ බියට පත්ව සිටිති.

හැරී කුමරුගේ සම්බන්ධය සහ ඔවුන්ගේ විවාහය සහ පසුව රාජකීයයන් ලෙස ගත කළ කාලය තුළ රුජනට සහ ඇගේ පවුලේ අයට අපහසුතාවයක් සහ හිත් වේදනාවක් ඇති කළ හැකි නමුත් මේගන්ට සරු ධනයක් උපයාගත හැකි දශක කිහිපයක් පැරණි මාළිගාවේ රස රහස් සොයා දැනගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් ඇයට රාජකීය පවුල තුළ ගැවැසීමට ඉඩ ලැබී තිබුණි. දැන් රාජකීයයන් බියව ඇත්තේ මේ රජ පවුලේ අභ්‍යන්තර කතා එළියට පැමිණේවි කියාය.

නමුත් මේ ගැන බිය නොවන එක් රාජකීය චරිතයක්ද සිටියි. ඔහු හැරී කුමරුය. මේ වසර අවසානයේ තමාගේම පොතක් එළිදක්වන හැරී කුමරුට සමීප මූලාශ්‍රයක් පැවසුවේ ඔහු මේ ගැන සැහැල්ලු ආකල්පයකින් යුතුව සිටින බවකි. ඔහු මේ ගැන විස්තර කර ඇත්තේ ''මේගන් පොතක් ලියන්නේ නැත්නම් මම පුදුම වෙනවා'' කියායි.

මේ සියලු අලකලංචි මැද රුජන සිටින්නේද අසනීපයෙන් බව මාළිගාවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ අනුව ලබන අඟහරුවාදා බකිංහැම් මාලිගයේදී බොරිස් ජොන්සන් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා පිළිගැනීමට රුජනට ලන්ඩනයට යාමට නොහැකි වනු ඇති බව රාජකීය නිලධාරීන් ප්‍රකාශ කර තිබුණි. ඒ වෙනුවට දේශපාලනඥයන් ඇය බැලීමට බල්මොරල් වෙත පැමිණෙනු ඇති බව ඔවුන් තහවුරු කර ඇත.