අගමැති ධුරයට පත් බ්‍රිතාන්‍යයේ තුන්වැනි කාන්තාව ලෙස ඉතිහාස ගතවන නව අගමැතිනිය ලීස් ට්‍රස් සිය කැබිනට් මණ්ඩලය නව වෙනස්කම් රුසක් සහිතව පත්කර තිබේ. මේ කැබිනෙට්ටුවට සිය ප්‍රතිවාදියා ලෙස ක්‍රියාකළ රිෂි සුනක්ගේ කිසිදු ආධාරකරුවෙක් හෝ නම් නොකිරීමට ඇය ප්‍රවේසම් වූ අතර තමන්ගේ ළඟම හිතවතුන් සඳහා ප්‍රමුඛ අවස්ථාවක් ලබාදී තිබේ. ඒ අනුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර් ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා නව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්ගේ කැබිනට්ටුවේ පරිසර, ආහාර හා ග්‍රාමීය කටයුතු කැබිනට් අමාත්‍යවරයා (Secretary of State for Environment, Food and Rural Affairs) ලෙස පත්කිරීමට ඇය පියවර ගෙන ඇත.
නව අගමැතිනිය ලීස් ට්‍රස් සිය නව ස්වදේශ කටයුතු ලේකම් ලෙස ඉන්දීය සම්භවයක් ඇති සුවාලා බ්‍රවර්මන් පත්කර තිබේ. ඒ කලින් සිටි ඉන්දීය සම්භවයක් දැරූ ප්‍රිටී පටෙල් වෙනුවටය. දැන් ට්‍රස්ගේ කැබිනට් මණ්ඩලයේ සිටින එකම ඉන්දීය සම්භවයක් ඇති අමාත්‍යවරිය සුවාලා බ්‍රවර්මන්ය. ඇය බුද්ධාගම පිළිපදින අතර නිතිපතා ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයටද පැමිණෙන්නියකි. වඩාත්ම සුවිශේෂි කාරණාව වන්නේ සුවාලා බ්‍රවර්මන් පාර් ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේ බුදුරජාණන් වහන්සේගේ ධම්මපද ග්‍රන්ථය මත අත තබා වීමය.
කැබිනට් ඇමැති ධූරය ලත් රනිල් ජයවර්ධන මීට පෙර බොරිස්ගේ රජයේ ජාත්‍යන්තර වෙළඳ කැබිනට් නොවන අමාත්‍යවරයා (Minister for International Trade) ලෙස කටයුතු කර තිබේ. අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මුලසිටම පෙනී සිටි රනිල් ජයවර්ධන 2015දී හැම්ප්ෂයර් ප්‍රාන්තයේ මන්ත්‍රීවරයා වශයෙන් මුලින්ම බ්‍රිතාන්‍ය පාර් ලිමේන්තුවට තේරී පත්විය. වෘත්තීයෙන් බැංකුකරුවෙකු වූ රනිල් ජයවර්ධන කලක් ලොයිඩ්ස් බැංකුවේ සේවය කර ඇත.
ශ්‍රී ලාංකිකයකු වන නලින් ජයවර්ධන සහ ඉන්දීය ජාතික මවකට දාව 1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන මහතා 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර් ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.
2015 වසරේ මැයි 08 වැනිදා පැවති බ්‍රිතාන්‍ය පාර් ලිමේන්තු මැතිවරණයේදී එරට පාර් ලිමේන්තුව තේරී පත්වූයේ ඡන්ද 35,573ක් ලබා ගනිමිනි. ඉන්පසුව 2017 පැවැති මහ මැතිවරණයෙන්ද ,2020 ජනවාරි පැවති මැතිවරණයෙන්ද හෙතෙම ජයග්‍රහණය කළේය.
මේ වනවිටත් එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන හෙතෙම එරට ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකුද වේ. වෘත්තීයෙන් බැංකු කළමනාකරුවෙකු වූ හෙතෙම තරුණ අවදියේම කොන්සර්වේටිව් පක්ෂ ක්‍රියාකාරියෙකුව කටයුතු කළේය. හෙතෙම 2008 වසරේදී බ්‍රිසින්ස්ටෝන් සහ ඩේන් නගර සභාවේ උප නගරාධිපති වශයෙන්ද කටයුතු කළේය.
රනිල් ජයවර්ධන මහතාගේ පියා වන හොරණ අඟුරුවාතොට පදිංචිව සිටි නලින් ජයවර්ධන මහතා 1978 වසරේදී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් ඇති අයෙකු වේ. රනිල් ජයවර්ධන මහතා තිදරු පියකු වන අතර ඔහු විවාහ වී සිටින්නේ ඇලිසන් නැමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සමගිනි.