2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

අතුරුදන් වූ චීන ජනාධිපති නිදැල්ලේ!

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 148

තුන්වැනි ධුර කාලයටත් සැරසේ

පසුගිය සති කිහිපය තුළ නිවාස අඩස්සියේ පසුවන බවට සමාජ මාධ්‍ය පුරා පළවූ   කටකතා දුරු කරමින් චීන ජනාධිපති ෂී ජින්පින් අඟහරුවාදා බීජිං හි පැවති ප්‍රදර්ශනයකට සහභාගි වූ බව රාජ්‍ය රූපවාහිනියට වාර්තා කර ඇත. සැප්තැම්බර් මැද භාගයේ මධ්‍යම ආසියාවේ නිල සංචාරයක යෙදී  චීනයට ආපසු පැමිණීමෙන් පසු මෙය ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාවය.

උස්බෙකිස්තානයේ පැවති සමුළුවකින් පසු ආපසු චීනයට පැමිණි දා සිට ෂී මහජන අවධානයට වැඩිපුර ලක් නොවීය.

බීජිංහි සිදුවූ හමුදා කුමන්ත්‍රණයක් මගින් ඔහු නිවාස අඩස්සියේ තබා ඇති බවත් බීජීං වෙතට වැටුණු මාවතේ කිලෝමීටරයක් දිගට හමුදා රථ පේළි ගමන් ගන්නා බවටත්  සත්‍ය බව සනාථ කළ නොහැකි වූ පුවත් සහ ඡායාරූප රැසක් සමාජ ජාල කැළඹුවේය.  
විනාශකාරී COVID-19 වසංගතයේ ආර්ථික තර්ජන මතුව තිබියදීත්, සහ දුර්ලභ මහජන විරෝධතා මෙන්ම බටහිර සමඟ නැගී එන ගැටුම් සහ තායිවානය පිළිබඳ ආතතීන් ඉහළ යමින් තිබියදීත්, “චීන ජාතිකයන්ගේ පුනර්ජීවනය සඳහා වූ ඔහුගේ ශ්‍රේෂ්ඨ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා තුන්වැනි වරටත් බලයේ රැඳී සිටීමට ෂී  තීන්දු කර තිබුණි. ඔහුට එරෙහි රැල්ල ප්‍රසිද්ධියේ නැගී එන්නට වූයේ මේ තීන්දුවත් සමඟිනි.

ෂී, දශකයකට පෙර පක්ෂයේ මහලේකම්වරයා වූ දා සිට ක්‍රමානුකූලව බලය තහවුරු කරගෙන ඇති අතර විසම්මුතියට සහ විරුද්ධත්වයට ඇති සියලු ඉඩකඩ ඉවත් කර ඇත. 

එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත්, පශ්චාත් දෙවැනි ලෝක යුද්ධයේ පිළිවෙළට විකල්ප නායකයකු ලෙස චීනය ගෝලීය වේදිකාවේ වඩාත් ස්ථීර වී ඇත. 2018 දී ඔහු ජනාධිපති ධුරය සඳහා වාර දෙකක සීමාව ඉවත් කරන්නට කටයුතු කළේය. 69 හැවිරිදි චීන නායකයාගේ තුන්වැනි පස් අවුරුදු ධුර කාලය සඳහා ඉදිරිපත් වීම ගැන ඉඟි පළවූයේ එදා සිටය. රටේ ජනතාවගේ අදහස විවිධ වුවත් ෂි ගේ අනාගතය තීන්දු කළ හැකි පාලක කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර වයෝවෘද්ධ නායකයන්ගේ ආකර්ෂණය ඔහු වෙතටය.

චීන ජනාධිපති ෂී ජින්පින් සිය තුන්වැනි ධුර කාලය ලබාගැනීමටත්, මාඕ සේතුංගෙන් පසු රටේ බලවත්ම නායකයා ලෙස ඔහුගේ ස්ථානය තහවුරු කිරීමටත් අපේක්ෂා කරන  අතර එය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සම්මේලනයේ දී අනුමත වීමට බොහෝදුරට ඉඩ සැලසී ඇත. 

චීනය සහ එහි ජනතාවගේ අනාගතය රැඳී ඇති මේ තීරණාත්මක 20 වැනි කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය ඔක්තෝබර් 16 සිට පැවැත්වීමට නියමිතය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00