2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

සුන්නි ආගමික බලගතු විද්වතෙක් සමුගනියි!

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 82

සුන්නි මුස්ලිම් ලෝකයේ වඩාත්ම බලගතු ආගමික විද්වතුන්ගෙන් කෙනකු වන ෂෙයික් යූසුෆ් අල්-කරදාවි මිය ගියේය. කටාර් හි පදිංචිව සිටි ඊජිප්තු ජාතික අල්-කරදාවි මුස්ලිම් විද්වතුන්ගේ ජාත්‍යන්තර සංගමයේ සභාපතිවරයා වූ අතර මුස්ලිම් සහෝදරත්වයේ අාධ්‍යාත්මික නායකයෙක් ද විය. ඔහු 96 හැවිරිදි වියේ පසුවිය. සඳුදා ඔහුගේ මරණය ඔහුගේ නිල ට්විටර් ගිණුම මගින් නිවේදනය කර ඇත.

ආගමික කරුණු සාකච්ඡා කිරීම සඳහා ප්‍රසිද්ධ ලෝක නාලිකාවක නිතිපතා පෙනී සිටි අල්-කරදාවි, “ෂරියා සහ ජීවිතය” නම් ජනප්‍රිය රෑපවාහිනී වැඩසටහනක සත්කාරකත්වය දැරූ අතර, එහිදී ඔහු මුස්ලිම් ලෝකය පුරා ඇමතුම් ලබාගෙන, දේවධර්මීය තීන්දු ලබා දෙමින් සහ උපදෙස් ලබා දෙමින් මගපෙන්වීය.

2013 දී ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ පළමු ජනාධිපති මොහොමඩ් මොර්සි බලයෙන් පහ කළ කුමන්ත්‍රණය අල්-කරදාවි දැඩි ලෙස විවේචනය කළේය. මොර්සි ජනාධිපති වීමට පෙර මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයකු වූ අතර ඔහුට එම ව්‍යාපාරයේ සහාය හිමි විය. ඊජිප්තුවේ ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසිට විරුද්ධ වීම හේතුවෙන් මොර්සි බලයෙන් පහකිරීමෙන් පසු අල්-කරදාවිට නැවත ඊජිප්තුවට යාමට නොහැකි විය.

ආගමික නායකයා මීට පෙර හිටපු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කළ 2011 විප්ලවයට පෙර ඊජිප්තුවෙන් පිටුවහල්ව සිටියෙකි. ඔහුගේ මරණය මුස්ලිම් ලෝකය පුරා දැඩි ප්‍රතිචාරයක් ජනිත කළේය. ඔහුගේ මරණය ගැන ශෝක ප්‍රකාශන සමාජ මාධ්‍ය  තුළ ද දැඩිව පැතිර ගියේය.