2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

ලොව අන්ත දරිද්‍රතාවය 2030න් පසුවත් දිගටම!

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 238

2030 වන විට අන්ත දරිද්‍රතාවය අවසන් කිරීමේ දිගුකාලීන ඉලක්කය සපුරාලීම දැන්  ලෝකයට අපහසු බව ලෝක බැංකුව බදාදා නිකුත් කරන ලද නව වාර්තාවක සඳහන් වේ.

කොරෝනා වෛරස වසංගතය සහ යුක්‍රේනයේ යුද්ධය ඇතුළු “අසාමාන්‍ය” කම්පන  ගෝලීය ආර්ථිකයට බලපෑ ආකාරය උපුටා දක්වමින් ඔවුන් මේ බව පවසා තිබේ.

ලෝක බැංකුව පැවසුවේ, දශක කිහිපයකින් ගෝලීය දරිද්‍රතාවයේ “විශාලතම පසුබෑම” COVID-19 විසින් සිදු කිරීමෙන් පසු ඉහළ ගිය ආහාර සහ බලශක්ති මිල ගණන් ආර්ථිකය ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට බාධාවක් වී ඇති බවයි.

අන්ත දරිද්‍රතාවය දැන් සංකේන්ද්‍රණය වී ඇත්තේ උප සහරා අප්‍රිකාවේ රටවල්වලට වන අතර එහි දරිද්‍රතා අනුපාතය 35% ක් පමණ වන බවත් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් 60% ක් ඒ ආශ්‍රිතව සිටින බවත් ඒ වාර්තාව පවසයි.