පෘථිවිය මත ජීවය විනාශ කිරීම සඳහා පැමිණෙන ආගන්තුක විශ්වීය වස්තුවක කඩා වැදීම කෘත්‍රිමව නැවැත්වීම සඳහා මානව වර්ගයාට ඇති හැකියාව සොයා බැලූ සිය ඓතිහාසික DART නමැති පරීක්ෂණ මෙහෙයුම සාර්ථකව ඇති බව නාසා ආයතනය පවසයි.
ඒ අනුව ඉකුත් සැප්තැම්බර් 26 වැනි දින ඩයිමෝෆෝස් නමැති ග්රහකයට හිතාමතාම කඩා වැදී, එය එහි ලොකු සහෝදරයා වන ඩිඩිමෝස් වටා කුඩා, වේගවත් කක්ෂයකට තල්ලු කිරීම සඳහා ක්‍රියාත්මක කළ DART හි උත්සාහය විද්‍යා ප්‍රබන්ධයක් සැබෑවීමක් බඳුය. ආගන්තුක තර්ජනාත්මක වස්තුවක් අභ්‍යවකාශ යානයක් සමඟ ගැටීමට සැලැස්වීමෙන් කළ හැකි මේ චාලක බලපෑම වත්මන් තාක්ෂණයෙන් කළ හැකි, අපේ ග්‍රහලෝකය ආරක්ෂා කිරීමේ එක් ක්‍රමයක් පමණි.
මෙම කෘත්‍රිම තල්ලුව නිසා ඩයිමෝෆෝස් Dimorphos ග්‍රහකයේ කක්ෂීය ගමන මිනිත්තු 32 කින් වේගවත් කිරීමට හැකිව තිබේ. එය NASA හි අපේක්ෂාව වූ මිනිත්තු 10ක කාල සීමාව ඉක්මවා ගිය සාර්ථකත්වයකි. එසේම මෙම ග්රහකය මත සිදුකළ කෘත්‍රිම ගැටුම නිසා එයින් නිකුත් වු සුන්බුන් හේතුවෙන් සැදූනු එහි තාවකාලික නව වලිගය සහිතව Dimorphos,ග්රහකය දැන් මිනිසා විසින් සාදන ලද කෘත්‍රිම වල්ගා තරුවක් බවට පත්ව ඇත.
මේ ද්විත්ව ග්රහක අතරින්, විෂ්කම්භය මීටර් 160 (අඩි 530) හෙවත් දළ වශයෙන් විශාල ඊජිප්තු පිරමීඩයක ප්‍රමාණයෙන් යුත් කුඩා ග්රහකය ඩයිමෝෆෝස් වෙත කඩා වැදුණු, ශිතකරණයක ප්‍රමාණයේ යානයක් මගින් සිදුකළ බලපෑම්කාරක තල්ලුව මඟින් ඒ ග්‍රහකයේ මග වෙනස් කිරීමට හැකිවීම මිනිස් ඉතිහාසයේ මහපොළොවේ සුරක්ෂිත බව සනාථ කරන ව්‍යාපෘතීන්හි සාර්ථක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස NASA හඳුන්වා දෙයි.
භූ විද්‍යාත්මක වාර්තාවන් පෙන්නුම් කරන්නේ, මීට වසර මිලියන 66 කට පෙර කිලෝමීටර් 9.6 (සැතපුම් 6ක්) පළල ග්රහකයක් පෘථිවියට වැදී, ලෝකය දිගු ශීත කාලයකට ඇද දැමූ අතර එමඟින් ඩයිනෝසෝරයන් සහ සියලුම විශේෂවලින් සියයට 75ක් සමූහ වශයෙන් වඳ වී යාමට හේතු වූ බවය. නාසා හී මේ උත්සාහය එවන් විපතක් යළි සිදු නොවීම සඳහාය.