2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

බ්‍රිතාන්‍ය මහ පුටුවට ඉන්දියානු සල්ලිකාරයෙක්!

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:01 177

දීර්ඝ දේශපාලනික පොරයකින් පසු රිෂී සුනක් සම්ප්‍රදායානුකූලව බ්‍රිතාන්‍යයේ 03 වැනි චාල්ස් රජු හමුවීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ 57 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය. චාල්ස් රජු හා නව අග්‍රාමාත්‍යවරයා අතර හමුව සිදුවූයේ බකින්හැම් මාලිගයේදීය. මේ සමඟ හිටපු අගමැතිනිය ලීස් ට්‍රස් කෙටිම කාලයක් අගමැති පුටුව දැරෑ තැනැත්තිය ලෙස ඉතිහාසගත වූවාය.

බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු අගමැති තනතුරට පත් වූ ලිස් ට්‍රස් ද දින 45කින් ඉල්ලා අස්වීමෙන් පසුව සති 7ක් ඇතුළත බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වූ තුන්වැනි පුද්ගලයා බවට සුනක් පත් විය.

එසේම බ්‍රිතාන්‍යයේ වසර 200කට ආසන්න නූතන දේශපාලන ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් ලාබාලතම අග්‍රාමාත්‍යවරයා මෙන්ම එම ධුරයට පත්වූ සුද්දකු නොවන ඉන්දියානු සම්භවයක් සහිත පළමු හින්දු භක්තිකයා ලෙස රිෂී සුනක් ඉතිහාසයට එක්විය. එසේම බොහෝ දුරට ඔහුගේ බිරිඳ අක්ෂතා මූර්තී හට ස්තූතිවන්ත වන්නට සුනක්, බ්‍රිතාන්‍යය දේශපාලන සංස්ථාපිතයේ ඉහළම ස්ථානයට පැමිණි ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු හැටියටද ඉතිහාස ගතවනු ඇත.

අක්ෂතා මූර්තී හට ඇගේ පියාගේ ඉන්දියානු මෘදුකාංග සමාගමක් වන Infosys හි 93% ක කොටස් හිමිව ඇති අතර එහි වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 715 කි.  

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පුද්ගලයන්ගේ වාර්ෂික ශ්‍රේණිගත කිරීමක් සිදු කරන සන්ඩේ ටයිම්ස් පොහොසත් ලැයිස්තුවට අනුව මේ යුවළගේ ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම පවුම් මිලියන 730 (ඩොලර් මිලියන 830) කි. සන්ඩේ ටයිම්ස් වාර්තා කියන්නේ එලිසබෙත් රැජින පවා එතරම් පොහොසත් නොවූ බවය. දිවංගත රැජින සතු ශුද්ධ වටිනාකම පවුම් මිලියන 370ක් (ඩොලර් මිලියන 420 ක් පමණ) ලෙස සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබුණි. මෙම සුපිරි ධනවත් තත්ත්වයද බ්‍රිතාන්‍යය දේශපාලනයේ සුනක්ගේ පෙරුළිකාර ඉහළ නැගීමට හේතුවක් වූ බව විචාරක මතයයි.

රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ අධිකරණ ලේකම්වරයා සහ වෙළෙඳ ලේකම්වරයා ලෙස ද  කටයුතු කළ හිටපු බැංකුකරුවෙකි. මෙම යුවළට ක්‍රිෂ්ණා සහ අනුෂ්කා නමින් දියණියෝ දෙදෙනෙකි‍.

සුනක් 2015 දී උතුරු යෝක්ෂයර් හි රිච්මන්ඩ් ආසනයේ කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වෙමින් සිය දේශපාලන නැගීම ඇරැඹුවේය.

බ්‍රිතාන්‍යයේ 03 වැනි චාල්ස් රජු හමුවී දිවුරුම් දීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය නිල නිවෙස වන “නොම්මර 10” පරිශ්‍රයේදී බ්‍රිතාන්‍යය ජනතාව ඇමතූ රිෂී සුනක් රට  ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත්, එහෙත් හිටපු අග්‍රාමාත්‍ය ලීස් ට්‍රස් අතින් සිදුවූ වැරදි තමා නිවැරදි කරන බවටත් ප්‍රතිඥාවක් ලබා දුන්නේය. ඉදිරියේදී අසීරු තීරණවලට එළඹීමට සිදුවනු ඇති බවත්, දේශපාලනයට ඉහළින් රටේ අවශ්‍යතා ඔසවා තබන බවත් නව අග්‍රාමාත්‍යවරයා සිය මංගල කතාවේදී ප්‍රකාශ කර තිබුණි.