දූෂණ වංචා චෝදනා ලබා දෝෂාභියෝගයෙන් පරාජයට පත්වූ පෙරු හි හිටපු ජනාධිපති පේද්රෝ කැස්ටිලෝ බලයෙන් ඉවත් කර රඳවා තබා ගැනීමෙන් පසු සතියක් පුරා රට තුළ හටගත් විරෝධතා සහ දේශපාලන නැගිටීම් මධ්‍යයේ රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
පෙරු ආරක්ෂක අමාත්‍ය ඇල්බර්ටෝ ඔටරෝලා රටේ හටගත් මාර්ග බාධක දැමීම් ඇතුළු “කැරලිකාර හා ප්රචණ්ඩ ක්‍රියා” හේතුවෙන් බදාදා ඇඳිරි නීතිය පැනවූ බව නව දින 30 ක ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කරමින් පැවසීය.
නිදහස් නඩු විභාගයකට පෙර කැස්ටිලෝට, “කැරැලි ගැසීම" සහ "කුමන්ත්‍රණය" යන චෝදනා මත තවත් පැය 48 ක් සිරගතව සිටීමට විනිසුරුවරයකු නියෝග කිරීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
සිය වාමාංශික නායකයා නිදහස් කිරීම මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ හිටපු උප ජනාධිපති ඩිනා බොලුආර්ටේ ඉවත් කරන ලෙස සහ නව මැතිවරණයක් ඉල්ලමින් කැස්ටිලෝගේ ආධාරකරුවන් මේ දකුණු ඇමෙරිකානු රට පුරා වීදි බැස විරෝධතා අරඹා තිබේ. විරෝධතාකරුවන් එරට දෙවැනි වැදගත්ම නගරය වන අරිකුයිපා නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ද අල්ලා ගත් අතර, ගුවන් තොටුපොළට පිවිසෙන මාර්ගය ද වසා දමා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් 50කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන තිබුණි. ගුවන් තොටුපොළ අත්පත් කර ගැනීමේදී විරෝධතාකරුවන් දෙදෙනකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමෙන් තත්ත්වය වඩාත් බරපතළ විය.
පසුගිය වසරේ ජූලි මාසයේදී බලයට පත් වූ හිටපු ග්‍රාමීය ගුරුවරයකු සහ වෘත්තීය සමිති නායකයකු වන කැස්ටිලෝ, පෙරු හි කොංග්‍රසය විසුරුවා හැර ආඥාදායකත්වය මත රට පාලනය කිරීමට සැලසුම් කරන බව පසුගිය සතියේ ප්‍රකාශ කිරීමත් සමඟ මේ අර්බුදය ආරම්භ විය.