ඊශ්‍රායලයේ හිටපු අගමැති බෙන්ජමින් නෙතන්යාහු තමන් සාර්ථකව නව රජයක් පිහිටු වූ බව ජනාධිපති අයිසැක් හර්සොග්ට නිල වශයෙන් දැනුම්දුන් බව ඔහුගේ ලිකුඩ් පක්ෂය බදාදා ප්‍රකාශ කළේය. රජයක් පිහිටුවීමේ හැකියාව ඇති බව නිවේදනය කිරීමට ලබා දී තිබූ නියමිත කාලය අවසන් වීමට මිනිත්තු 10 කට පෙර නෙතන්යාහු සිය හැකියාව ගැන ට්වීට් කළේය. ඒ නිසා මෙය අවසාන මොහොතේ සිදුවූ ප්‍රකාශයකි.
පසුගිය වසරේ නෙරපා හරින තෙක් වසර 15ක් පුරා ඒ රට අගමැති ධුරයේ කටයුතු කර ඇති නෙතන්යාහුට ඉකුත් නොවැම්බර් 1 වැනිදා පැවැත්වූ මැතිවරණයෙන් පසුව සිය ආණ්ඩුව පිහිටුවීමට දේශීය වේලාවෙන් බදාදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය ලැබී තිබුණි.
නව ඊශ්‍රායල් ආණ්ඩුව, අමාත්‍ය තනතුරු සඳහා පත්කරන ලද කලක් ඊශ්‍රායල දේශපාලනයේ අන්ත ජාතිකවාදී මායිම්වල සිටි අය ලෙස සලකනු ලැබූ පුද්ගලයින්ද ඇතුළුව, ඒ රට ඉතිහාසයේ වඩාත්ම දක්ෂිණාංශික සභාග ආණ්ඩුව වනු ඇත. විදේශ ඇමැති, ආරක්ෂක ඇමැති සහ අධිකරණ ඇමැති වැනි වඩාත් වැදගත් කැබිනට් තනතුරු කිහිපයක් නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂයේ සාමාජිකයින්ගෙන් පිරවීමට අපේක්ෂා කෙරේ.
‘යුදෙව් පවර්‘ පක්ෂයේ නායක Itamar Ben Gvir, ජාතික ආරක්ෂක ඇමති ලෙස නම් කරන ලද අලුතින් පුළුල් කරන ලද මහජන ආරක්ෂක භූමිකාව ලබාගනිමින් ඊශ්‍රායලයේ පොලීසිය සහ වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ පොලිස් ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම භාර ගනු ඇත. ආගමික සියොන්වාදී පක්ෂයේ නායක Bezalel Smotrich මුදල් අමාත්‍යවරයා ලෙස නම්කර ඇත. ෂාස්, නමැති අල්ට්රා ඕතඩොක්ස් පක්ෂයේ නායක ආර්යෙ ඩෙරි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත. නිවාස ඇමති පක්ෂ පහේ සන්ධානයේ අනෙක් අන්ත ඕතඩොක්ස් පක්ෂය වන එක්සත් ටෝරා යුදෙව්වාදයේ නියෝජිතයෙකු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් පත්‍රය මුද්‍රණය යන අවස්ථාව වනවිටත් සියලුම අමාත්‍ය ධුර ප්‍රකාශයට පත්කර නොතිබුණි.