දැනට අමෙරිකාවේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින මෙක්සිකෝවේ මත්කුඩු ජාවාරම් රජු ලෙස ප්රකටව සිටි එල් චැපෝ හෙවත් ජෝකිම් ගුස්මන්ගේ පුත්‍රයා වන ඔවිඩියෝ ගුස්මන් හෙවත් එල් රේෂන් අත්අඩංගුවට ගත් මහා මෙහෙයුමකින් ආරක්ෂක අංශයේ 10ක් ඇතුළුව පුද්ගලයන් 29ක් මියගිය අතර ආරක්ෂක අංශ නිලධාරින් 35 දෙනකු වෙඩි හුවමාරැව අතරතුර තුවාල ලබා තිබේ.
එල් චැපෝ සිරගත වීමෙන් පසු ඔහුගේ සංවිධානයට නායකත්වය දෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ බව කියන ඔහුගේ පුත්‍රයා වන 32 හැවිරිදි ඔවිඩියෝ මෙක්සිකෝවට පමණක් නොව අමෙරිකාවට ද හිසරදයක් බවට පත් වී සිටියේය.
එල් චැපෝගේ පුත්‍රයා සමඟ තවත් පුද්ගලයන් 21 දෙනකු අත්අඩංගුවට ගැනීමට මෙක්සිකෝවේ ආරක්ෂක අංශ මෙහිදී සමත් වී තිබේ.
ඔවිඩියෝ අත්අඩංගුවට ගැනීමේ මහා මෙහෙයුමේදී ඔහුගේ රාජධානිය ලෙස ප්‍රකට උතුරැ සිනාලාඕ ප්‍රාන්තයේ කලියාකන් නුවරදී දරුණු ගැටුම් සිදුවී ඇති අතර නගරයේ ගුවන් තොටුපොළ ආසන්නයේ සිදු වූ මේ ගැටුමෙන් ගුවන් යානයකට ද වෙඩි ප්‍රහාර එල්ල වීමෙන් හානියට පත්වූ බව වාර්තා වේ. මෙම මෙහෙයුමේදී සිදු වූ ගැටුමෙන් රථවාහන විශාල සංඛ්‍යාවකට ද හානි සිදු වී ඇත. ඔවිඩියෝ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සැලසුම් කිරීමට මෙක්සිකෝවේ බුද්ධි අංශයට මාස 6ක කාලයක් ගත වී තිබූ බවත් වාර්තා වේ.