මෑත කාලයේ බ්‍රසීලයේ සිදු කළ විශාලතම අත්අඩංගුවට ගැනීම පසුගිය සඳුදා බ්‍රසීලියා අගනුවර දී සිදුවිය. ඒ ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයන් 1500කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බෝල්සනරෝගේ ආධාරකරුවන් සහ එරට ප්‍රධාන ගොඩනැගිලි 3 කට කඩා වැදීම සඳහා ඔවුනට ආධාර අනුබල දුන් රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන් පිරිසකි.
පසුගිය මැතිවරණයෙන් තියුණු ජයක් ලබාගැනීමට හිටපු ජනාධිපති ලූලා ද සිල්වා සමත් විය. එම මැතිවරණයෙන් ලද සිය පරාජය පිළි නොගෙන අමෙරිකාවට ගිය හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බෝල්සනරෝගේ උදරයේ වේදනාවක් හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රෝහල්ගත කළ බව ඔහුගේ බිරිය ප්‍රකාශ කර තිබුණි. ඒ අතර ඉකුත් 08 වැනිදා හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බෝල්සනරෝගේ ආධාරකරුවෝ එරට කොංග්‍රසය, මහාධිකරණ හා ජනාධිපති මන්දිරය යන ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි තුනට කඩා වැදී ප්රචණ්ඩ ලෙස අරගල කරමින් දේපල හානි පවා සිදු කළහ.
එරට නව ජනාධිපති ලූලා ද සිල්වා කියා සිටියේ, මෙම රාජ්‍ය විරෝධතාකරුවන් සහ ඔවුන්ට එරෙහිව ඒ අවස්ථාවේ නීතිය ක්‍රියාත්මක නොකළ ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා බවය. ඒ අනුව 1500ක් පමණ වූ පිරිසකට අමතරව එරට හමුදා පොලිසියේ හිටපු අණ දෙන නිලධාරියකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර බ්‍රසීලයේ හිටපු මහජන ආරක්ෂක ප්‍රධානියා මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු බව එරට නීතිපති කාර්යාලය පවසයි. එරට පොලිස්පතිවරයාව ද ධුරයෙන් ඉවත් කර තිබේ. බ්‍රසීලියා අගනුවර ආණ්ඩුකාරවරයාගේ ද තනතුර අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ. ඔහුගේ සේවය අත්හිටුවා ඇත්තේ දින 90ක කාලසීමාවකටය.
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයිර් බෙල්සොනාරෝගේ ආධාරකරුවන් විසින් රජයේ දේපළ විනාශ කිරීමට විරෝධය දක්වමින් වත්මන් ජනාධිපති ලූලා ද සිල්වාගේ ආධාරකරුවෝ දහස් ගණනක් අඟහරුවාදා වනවිට සාඕ පාඕලෝ නුවරට රැස් වූහ. බ්‍රසීලයේ විශාලතම නගරය වන සාඕ පාඕලෝ නුවර එකම හිස් ගොඩක් බවට පත් වී තිබූ අතර, ඔවුන් එක හඬින් රජයට බල කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසය.
ආරක්ෂක අංශ බ්‍රසීලියා අගනුවර සාමය ස්ථාපිත කිරීමෙන් පසු ජනාධිපති ලූලා විනාශ වූ රජයේ ගොඩනැගිලිවල තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගිය අතර, වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන බවත් ප්‍රකාශ කර තිබේ. කැරලිකරුවන්ගේ පහරදීමෙන් බ්‍රසීලයේ පෞරාණික වස්තු රැසක් විනාශ වී ඇති අතර, එරට සිටි කීර්තිමත් චිත්‍ර ශිල්පී එමිලියානෝගේ අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වටිනා චිත්‍රයක් ද ඒ අතර තිබූ බව වාර්තා වේ.