2023 පෙබරවාරි 12 වන ඉරිදා

චීන බැලූනය ගැන පුළුල් පරීක්ෂණ!

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 90

එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් විශ්වාස කරන්නේ මෑතකදී දකුණු කැරොලිනා වෙරළේදී වෙඩි තබා බිම හෙලූ චීන ඔත්තු බැලූනය, චීන හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුළුල් නිරීක්ෂණ වැඩසටහනක කොටසක් බවය. පලපුරුදු බුද්ධි අංශ නිලධාරියකුට අනුව, එම බැලූන ගුවන් ගමන් වලින් දුසිම් භාගයක් පමණ එක්සත් ජනපද ගුවන් සීමාව තුළ සිදු වී ඇත.

සමාන බැලූන ගණනාවක් ඇතුළත් මේ නිරීක්ෂණ වැඩසටහන, කුඩා චීන පළාතක් වන හයිනාන් වෙතින් ඇරැඹි ඇති බව අමෙරිකානු බලධාරින් කියති. එක්සත් ජනපදය චීන නිරීක්ෂණ බැලූන් සමූහයේ නිශ්චිත ප්‍රමාණය දන්නේ නැත, මෑත වසරවලදී අවම වශයෙන් මහාද්වීප පහක් පුරා මෙහෙයුම් දුසිම් දෙකක්වත් පවත්වා ඇති බව මූලාශ්‍ර    පවසයි. මේ අතර, වර්ජිනියාවේ Quantico හි රජයේ විද්‍යාගාරයකදී, FBI ඉංජිනේරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ගොඩගත් බැලූනයේ නටබුන් පරීක්ෂාකර බලමින් සිටින අතර, එය රැස්කරගෙන ඇති බුද්ධි තොරතුරු සහ අනාගතයේදී මෙවැනි  බැලූන් නිරීක්ෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව හැකි සෑම දෙයක්ම ඉගෙන ගැනීමේ උත්සාහයක යෙදෙමින් සිටියි.

මේ අතර, සැක කටයුතු චීන බැලූනය බිම හෙළීමත් සමඟ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සමඟ සංවාදයක් පැවැත්වීම චීනය ප්‍රතික්ෂේප කළ බව පෙන්ටගනය අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.