2023 මැයි 14 වන ඉරිදා

ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 49

පසුගිය 9 වැනිදා පාකිස්තාන දූෂණ විරෝධී කාර්යාංශය මගින් අත් අඩංගුවට ගත් ඉම්රාන් ඛාන්, වහාම නිදහස් කරන ලෙසට ඔහුගේ නීතීඥයන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මැයි 9 දින නඩුවකට පෙනී සිටීම සඳහා එරට අධිකරණයක් වෙත පැමිණි අවස්ථාවේ පාකිස්තාන ආරක්ෂක අංශ මගින් ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ එලෙස අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධි යැයි පවසමින් ඔහුගේ ආධාරකරුවෝ රටපුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කළෝය. ඉම්රාන් ඛාන් නිදහස් කරන තෙක් තම විරෝධතා අත් නොහරින බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ. 

විරෝධතා පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 8 දෙනකු මියගොස් ඇති අතර 1,000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි. කයිබර් පක්තුන්ක්වා, පන්ජාබ්, බලුකිස්තාන් සහ ඉස්ලාමාබාද් ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක සාමය පවත්වා ගැනීම සඳහා රජය හමුදාව කැඳවා තිබේ. පන්ජාබ් ප්‍රාන්තයේ පමණක් පොලිස් වාහන 25ක් සහ රජයේ ගොඩනැගිලි 14කට වැඩි ප්‍රමාණයක් ගිනි තබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ප්‍රචණ්ඩකාරී විරෝධතාවලට ඉඩ නොදෙන බවට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇති අතර ගැටුම් වර්ධනය වීමත් සමග පාකිස්තානයේ අන්තර්ජාල සහ සමාජ මාධ්‍යවලට පිවිසීමද අවහිර කොට තිබේ.

තමන්ට එරෙහිව නඩු සියයකට අධික සංඛ්‍යාවක් ඇතැයි ඉම්රාන් ප්‍රකාශ කර තිබිණි.  පසුගිය මැයි 10 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇත්තේ ඉස්ලාමාබාද් අසල අල්-කදර් විශ්වවිද්‍යාලය සඳහා ඉඩම් පැවරීම සම්බන්ධයෙන් වූ තවත් දූෂණ නඩුවක් සඳහා වූ නව වරෙන්තුවක් මතය. 2018 වසරේ සිට 2022 දක්වා ඔහු අග්‍රාමාත්‍යධුරය දැරූ කාලය තුළ ලද ත්‍යාග නීති විරෝධි ලෙස අලෙවි කර ඇතැයි චෝදනා කරමින් ඉස්ලාමාබාද් පොලිස් මූලස්ථානයේ පිහිටවූ විශේෂ අධිකරණය මගින් ඔහුට අධි චෝදනා ගොනු කර තිබේ. මෙම නඩුව සම්බන්ධයෙන් ඔහු දින අටක් රිමාන්ඩ් භාරයේ තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

ඔහුගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂ ප්‍රකාශකයකු මාධ්‍යයට පවසා ඇත්තේ කාන් අත්අඩංගුවට ගැනීමේ නීත්‍යානුකූලභාවය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන බවටය. පාකිස්තානු මහ මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිත වන අතර ඉම්රාන් සිරගත කිරීම රජය ඔහු දේශපාලනයෙන් ඉවත් කොට තැබීමට ගන්නා උත්සාහයක් ලෙස විරෝධතාකරුවෝ ප්‍රකාශ කරති. පසුගිය නොවැම්බරයේ විරෝධතා පා ගමනකදී ඉම්රාන් ඛාන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහු දිවිගලවා ගැනීමට සමත් විය.

අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් රජය, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රතික්ෂේප කර තිබේ. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා පවසා ඇත්තේ. “අපි ඔහුව නැවත අත්අඩංගුවට ගන්නවා. හෙට ඔහුට මහාධිකරණයෙන් ඇප ලැබුණොත් ඇප අවලංගු වන තෙක් බලා සිට නැවත ඔහුව අත්අඩංගුවට ගන්නවා” යනුවෙනි. ඉම්රාන්ට සහය පළ කරමින් පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රිඩකයන් වන වසීම් අක්‍රම්, වකාර් යූනිස්, ෂොයිබ් අක්තාර්, මොහොමඩ් හෆීස් ඉම්රාන්ට සහය පළකරමින් තම ට්විටර් ගිණුම්වල ප්‍රකාශ නිකුත් කර තිබේ. පාකිස්තානය යළි හමුදා පාලනයක් වෙත ළඟා වෙමින් සිටින්නේ යැයි දේශපාලන විචාරකයෝ බිය පළ කරති.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00