නෙදර්ලන්ත රූ රැජින කිරුළ පළමු වතාවට සංක්රාන්ති ලිංගික තරඟකාරියක විසින් දිනාගෙන තිබේ. රූ රැජින කිරුළ දිනූ 22 හැවිරිදි රිකී කොලේ නමැති ඇය නෙදර්ලන්තයේ බ්රෙඩාහි උපත ලබා තිබුණේ පිරිමි දරුවෙකු ලෙසටය. පසුගිය වසරේ ජයග්රාහිකාව වන ඔනා මූඩි විසින් වේදිකාවේදී ඇයට කිරුළු පැළඳූ අතර විශ්ව රූ රැජින වන රබොනී ගේබ්රියෙල් විසින් ඇගේ සළුවද පිරිනැමිණි.
ඇය මේ වසර අගදී විශ්ව රූ රැජින තරඟාවලිය සඳහාද සිය රට නියෝජනය කරනු ඇත. එහිදි විශ්ව රූ රැජින තරඟය දිනා ගත්තොත්, එම විශිෂ්ට කිරුළ පැළැඳි පළමු සංක්රාන්ති කාන්තාව බවට පත්වනු ඇත. විශ්ව රූ රැජින තරඟය සඳහා 2012 සිට සංක්රාන්ති සහභාගීවන්නන්ට අවසර දී ඇති අතර 2018 දී ස්පාඤ්ඤයේ ඇන්ජෙලා පොන්ස් මෙම තරඟාවලියේ පළමු තරඟකාරිය බවට පත් වූ නමුත් ඇය අවසන් මහා තරඟයට ඉදිරිපත් වූයේ නැත.
ලබන මාසයේදී, තවත් ක්රියාකාරිනියක වන ඩැනියෙලා අරෝයෝ ගොන්සාලේස්ද පුවර්ටෝ රිකෝ විශ්ව රූ රුජින ජයග්රහණය කළ පළමු සංක්රාන්ති කාන්තාව ලෙස ඉතිහාසගත වීමට බලාපොරොත්තු වන අතර, ඇය එසේ කිරුළු පැළඳුවහොත් ඇයද විශ්ව රූ රැජිණ තරඟයට ඉදිරිපත්වනු ඇත. 2023 තරඟාවලිය සඳහා ලොවපුරා සිටින කාන්තාවන් 90 දෙනෙකු මෙවර තරඟ වදින බව එහි වෙබ් අඩවිය පවසයි.