2023 ජුලි 29 වන සෙනසුරාදා

ඊශ්‍රායලය ශ්‍රේෂ්ඨාධිකරණ නීතියක් නවයි!

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 84

ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව සඳුදා ආන්දෝලනාත්මක නීතියක් සම්මත කර ගත්තේය. රජයේ තීරණ අසාධාරණ ලෙස ප්‍රකාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය එමගින්  ඉවත් කළේය. මෙය රට මුහුණ දී සිටින අර්බුදය ගැඹුරු කිරීමට ඉඩ ඇති පුළුල් පරාසයක අධිකරණ ප්‍රතිසංස්කරණ මාලාවක පළමු පනත ලෙස විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. 

“සාධාරණත්වය" යන නෛතික සිද්ධාන්තය යටතේ රජයේ තීරණ නිෂේධ කිරීමට අධිකරණයට ඇති බලය ඉවත් කරමින් මෙම පනත් කෙටුම්පත මගින් ඊශ්‍රායල අධිකරණය පාලනය කරන මූලික නීතියක් සංශෝධනය කර තිබේ. විවේචකයන් කියා සිටියේ මේ මගින් අධිකරණයේ ස්වාධීනත්වය බිඳී යන අතර ඊශ්‍රායලයේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වන බවය. මේ වනවිට මිලියන ගණනක් මෙම වෙනසට විරුද්ධ වී සිටිති.  

ඊශ්‍රායලයේ සමීපතම සගයා වන එක්සත් ජනපදය වෙතින්ද මාස ගණනක් තිස්සේ පැමිණි විරෝධතා සහ දැඩි පීඩනය නොතකා ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව, මෙම  Knesset නීතිය සම්මත කළේය. පනත් කෙටුම්පත 64-0 කින් සම්මත විය. පාලක සභාගයේ සියලුම මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, ඡන්දය පැවැත්වෙන බැවින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගොස් තිබුණි.

ඊශ්‍රායලයට බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයට මෙන් ලිඛිත ව්‍යවස්ථාවක් නොමැත. ඒ වෙනුවට එය පදනම් වන්නේ මූලික නීති 13 ක් මත මෙන්ම යම් දිනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවට පත්විය හැකි අධිකරණ තීන්දු පූර්වාදර්ශ මතය. කෙසේ වුවද මේ නීතිය ශ්‍රේෂ්ඨාධිකරණය තාවකාලිකව හෝ නිශේධනය කරනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. මෙය රජය සහ අධිකරණය අතර නව මත ගැටුමකට මුල පුරනු ඇත. සඳුදා දහස් ගණනක් පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල වටකරගත් අතර, අඟහරුවාදා ඊශ්‍රායල වෛද්‍ය සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ඔවුන් "පුළුල් සහ භයානක" ලෙස හැඳින්වූ මේ නීතියට ප්‍රතිචාර වශයෙන් පැය 24 ක් වැඩවර්ජන කරන බවයි.