2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

G20 අතළඟ: ඉන්දියාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය ඉහළට!

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

ඉන්දියාවේ මුළුදීමට නියමිත ලෝක නායක සමුළුවට මාසයක් තිබියදී රට පුරා මාරාන්තික වාර්ගික ප්‍රචණ්ඩත්වයක් ඇවිල ගොස් තිබේ. පොලිස් නිලධාරියකු විසින් මුස්ලිම් මිනිසුන් තිදෙනකුට වෙඩි තැබීම ඇතුළුව මේ සතියේ වෙන වෙනම සිදුවූ  ප්‍රචණ්ඩකාරී සිද්ධි ගණනාවක් වාර්තා වූයේ G20 නායකයන් එරට අගනුවරට පිළිගැනීමට සති කිහිපයක් තිබියදීය.

දක්ෂිණාංශික හින්දු සංවිධානයක් ආගමික පෙරහරක් මෙහෙයවීමෙන් පසු සඳුදා උතුරු හර්යානා ප්‍රාන්තයේ මුස්ලිම් ආධිපත්‍යය පවතින නූහ් ප්‍රදේශයේ ප්‍රචණ්ඩත්වය ඉහළ ගියේය. මිලියන 1.5 කට අධික ජනතාවක් සහ සිය ගණනක් ගෝලීය සමාගම් වෙසෙන ගුර්ගෝන් ලෙසද හැඳින්වෙන, මූල්‍ය හා තාක්ෂණික කේන්ද්‍රස්ථානය වන ගුරුග්‍රාම් හි දිස්ත්‍රික්ක කිහිපයකම ගැටුම් පැතිර ගියේය. එහිදී ප්‍රචණ්ඩකාරී මැර කල්ලි ප්‍රධාන වශයෙන් මුස්ලිම්වරුන් සතු දේපළ ඉලක්ක කර පහර දෙමින්, ගොඩනැගිලි ගිනි තබමින් සහ කඩ සාප්පු සහ ආපනශාලා කඩා බිඳ දැමූහ. මේ ගැටුම්වලින් ගිනි තබන ලද පල්ලියක් තුළ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ පූජකයකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනකු මිය ගිය අතර 110 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ.

මහාරාෂ්ට්‍රයේ කිලෝමීටර් 1,300 (සැතපුම් 807) ක් පමණ දකුණින් මුම්බායි වෙත ගමන් කරන දුම්රියක, සිදුවූ තවත් මාරාන්තික ප්‍රහාරයක් රටේ වාර්ගික භේදයේ ගැඹුර ලොවට පෙන්නුම් කළේය. එහිදී පොලිස් නිලධාරියකු ධාවනය වෙමින් තිබූ දුම්රියකට වෙඩි තබා ජ්‍යෙෂ්ඨ කොස්තාපල්වරයකු සහ මුස්ලිම් මගීන් තිදෙනකු ඇතුළු සිව්දෙනකු මිය ගිය බව ප්‍රාදේශීය වාර්තා පෙන්වා දී ඇත. ඉක්බිතිව ඉක්මනින් ප්‍රචලිත වී ඇති වීඩියෝවක, එම නිලධාරියා පණ නැති සිරුරක් මත සිටගෙන, රයිෆලයක් අතැතිව, භීතියට පත් මගීන් දෙස බලා, “ඔබට ඡන්දය දීමට අවශ්‍ය නම්, ඔබට හින්දුස්ථානයේ (ඉන්දියාවේ) ජීවත් වීමට අවශ්‍ය නම්, ඒ සඳහා තෝරා ගැනීමට  සිටින්නේ (නරේන්ද්‍ර) මෝදි සහ යෝගී (ආදිත්‍යනාත්) පමණයි.” යනුවෙන් තර්ජනය කරනු එහි දක්නට ලැබේ. මෙය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරෑපයට මේ වර්ගවාදී නැගිටීම දැඩි කැළලක්ව තිබේ.