2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

බටහිර කැළඹූ කිම් ජොන් - පුටින් ලිපි හුවමාරුව!

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 02:00 111

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ප්‍රසිද්ධ ලිපි හුවමාරුවක් සිදුව ඇති අතර මේ පැරුණි මිතුරන්ගේ අලුත් සබඳතාව දැනටමත් ඇමෙරිකාව ඇතුළු බටහිර කැළඹීමට සමත්ව ඇත.

කිම් සිය දෙරට තුළ ඇති මිත්‍රත්වය දෙවැනි ලෝක යුද්ධ යුගය තෙක් දිවෙන "දිගුකාලීන උපායමාර්ගික සබඳතාවයක්" ලෙස හැඳින්වූ අතර, එම සබඳතා දැඩිව වර්ධනය කර ගැනීමට පොරොන්දු වෙමින් ලිපියක් යවා ඇත. පුටින්, කිම් වෙත යැවූ සිය පිළිතුරු පණිවුඩයේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ද පොරොන්දු විය. අඟහරුවාදා පුටින් වෙත යැවූ සිය ලිපියේ කිම් පැවසුවේ ජපානයට එරෙහි ජයග්‍රහණයත් සමඟ දෙරටේ මිත්‍රත්වය ගොඩනැගුණු බවත් දැන් “අධිරාජ්‍යවාදීන්ගේ අත්තනෝමතික භාවිතයන් සහ ආධිපත්‍යය බිඳ දැමීමේ අරගලයේදී ඔවුන්ගේ අනභිභවනීයත්වය සහ ශක්තිය මුළුමනින්ම ප්‍රදර්ශනය කරමින් සිටින” බවත්ය.   

දෙරට නායකයන් පවසන්නේ මිත්‍ර පාක්ෂිකයන් ඔවුන්ගේ අත්තනෝමතික බව සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය කරමින් සිටින අතර මොස්කව් වෙත පියොංයැන්ග් ආයුධ සපයන බවට එක්සත් ජනපදය චෝදනා කරන බැවින් දෙරටේම ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙන බවය. ක්‍රෙම්ලිනය යුක්රේනයට හමුදා යෙදවීමත් සමඟ   මොස්කව් සහ පියොංයැන්ග් - බටහිරින් වැඩි වැඩියෙන් හුදෙකලා වී ඇත.  

යුක්රේනයේ යුද්ධය සඳහා උතුරු කොරියාව රුසියාවට කාලතුවක්කු උණ්ඩ, උරහිස්වලින් එල්ල කරන රොකට් සහ මිසයිල ඇතුළු ආයුධ සපයන බවට එක්සත් ජනපදය චෝදනා කරයි. Pyongyang සහ මොස්කව් මෙබඳු කිසිදු ආයුධ ගනුදෙනුවක් සිදුවූ බව ප්‍රතික්ෂේප කර ඇත.

දකුණු කොරියාවේ ජාතික නිවාඩු දිනයක් ලෙස ද සමරනු ලබන ජපානයේ 1910-45 යටත් විජිත පාලනයෙන් කොරියාව නිදහස් වීමේ 78 වැනි සංවත්සරය දා මෙම ලිපි  හුවමාරුව සිදුව තිබුණි.

මේ අතර දකුණු කොරියාව, එක්සත් ජනපදය සහ ජපානයේ නායකයන් උතුරු කොරියාව, යුක්රේනය සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සිකුරාදා කැම්ප් ඩේවිඩ් හි පැවැති ත්‍රෛපාර්ශ්වික සමුළුවේදී සාකච්ඡා කිරීමට  මුල්තැන දී තිබුණි.