සඳේ දකුණුකරයට යානයක් යැවූ මුල්ම රට ලෙස ඉතිහාසයට එක්වේ
සඳේ දක්ෂිණ ධ්‍රුවය ආසන්නයට ගොඩබැස්ස ලොව පළමු රට බවට පසුගිය 23දා ඉන්දියාව ඉතිහාසගත විය. ඉන් දිනකට පසු ඉන්දියාවේ සඳ රෝවර් යානය වික්‍රම්, මව් යානයෙන් චන්ද්‍ර පෘෂ්ඨය මතට බැස සිය පළමු පියවර තැබුවේය. එදා ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය “ඉන්දියාව සඳ මත මුල්වරට ඇවිද ගිය” බව සාඩම්බරයෙන් ලොවට ප්‍රකාශ කළේය. මේ සමඟ, එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සිදුකිරීමට සමත් වූ අලුත්ම සහ 4 වැනි රට බවට ඉන්දියාව පත්විය.
මෙම ඓතිහාසික අවස්ථාව රට පුරා මහත් ප්‍රීතියෙන් සැමරූ අතර "ඉන්දියාව දැන් සඳ මතට බැස සිටී, එසේම වෙනත් කිසිම රටකට ළං විය නොහැකි වූ තැනකට අපි ළඟා වී සිටිමු." යැයි අගමැති නරේන්ද්‍ර මෝදි උදම් ඇනුවේය.
ඉන්දියාව මේ ජය ලැබුවේ රුසියාව මගින් අභ්‍යවකාශ ගත කළ ලූනා 25 නවතම යානය සමඟ තරගයක යෙදෙමිනි. සඳේ දකුණු පැත්ත ආසන්නයට ගොඩබෑ මුල්ම රට වන්නට රුසියාවට අවශ්‍ය විය. මේ නිසා රුසියාවේ Luna-25 අගෝස්තු 10 වැනි දින ගමන ඇරුඹූ අතර, තෝරාගෙන තිබුණේ සඳ වෙත වඩාත් ඍජු මාර්ගයකි. ඒ ඉක්මනින් ගොඩබෑමේ උත්සාහයක නිරත වීමට හැකි ලෙසටය. Luna-25 ගමන් ගත්තේ දකුණු සඳේ Boguslawsky ආවාටයට වඩාත් උතුරින් 72.9˚S/ 43.2˚E අතර පිහිටි ස්ථානයක් ඉලක්ක කරමිනි. අගෝස්තු 21දා Luna-25ට සඳට ළංව එය වටා කැරැකෙන්නට හැකිවිය.
මේ අතර, ඉන්දියාවේ චන්ද්‍රයාන්-3, ජූලි 14 වැනි දින ගමන් අරඹා අගෝස්තු 5 වැනි දින චන්ද්‍ර කක්ෂයට ඇතුළු වී තිබුණි. එය ක්‍රමානුකූලව කක්ෂය පහත හෙලමින් අගෝස්තු 23 වැනි දින ගොඩබෑමට සූදානම් විය. චන්ද්‍රයාන්-3 සිය ගොඩබෑමේ ස්ථානය ලෙස සඳේ දකුණු පැත්තේ 69.37˚S සහ 32.35˚E අතර ප්‍රදේශය ඉලක්ක කර තිබුණි.
අන්තිමේ රුසියාවේ Luna-25 අභ්‍යවකාශ යානය අගෝස්තු 21දා ගොඩබෑමට ඔන්න මෙන්න කියා හදිසියේම පාලනයෙන් මිදී සඳ මතට කඩා වැටී රුසියාව වසර 47කට පසු සඳට ගොඩබසින්නට දුටු සිහිනය බිඳ වැටුණි.
චන්ද්‍රයාන්-3 ඉන් දින දෙකකට පමණ පසු හීන්සැරේ සඳ වෙතට ආසන්නව එහි රැගෙන ගිය සඳ මතට ගොඩබසිනා යානය වූ “වික්‍රම්” මුදා හැරියේය. එය සාර්ථකව සඳේ නිවැරැදි ඉලක්කය වෙත ළඟා විය. ඉන්දියාව සඳ ජයගත් 4 වැනියා බවට පත්විය.
චන්ද්‍රයාන්-3 හි ගෙන ගිය වික්‍රම් ලෑන්ඩරය එය තුළ වූ ප්‍රග්‍යාන් නමැති (ප්‍රඥාව සඳහා සංස්කෘත වචනය) සඳ මත සැරිසරන කිලෝග්‍රූම් 26ක් බරුති, කුඩා රෝවර යානය සඳ මතට ගොඩබානා ලදී. එය දැන් සඳ පාෂාණ සහ ආවාට වටා සැරිසරමින්, විශ්ලේෂණය සඳහා පෘථිවියට ආපසු යැවීමට තීරණාත්මක දත්ත සහ පින්තූර රැස් කරමින් ඇත.
ප්‍රග්‍යාන් විද්‍යාත්මක උපකරණ දෙකක් රැගෙන ගිය අතර එමඟින් සඳ මතුපිට ඇති ඛනිජ මොනවාදැයි සොයා බැලීමට සහ පසෙහි රසායනික සංයුතිය අධ්‍යයනය කිරීමට උත්සාහ කරයි.
ප්‍රග්‍යාන් සඳ මත යමින් වික්‍රම් ලෑන්ඩරය සමඟ පමණක් සන්නිවේදනය කරනු ඇති අතර වික්‍රම් ලෑන්ඩරය චන්ද්‍රයා වටා කක්ෂගතව සිටින චන්ද්‍රයාන්-3ට තොරතුරු යවනු ලබන අතර ඒවා පසුව විශ්ලේෂණය සඳහා පෘථිවියට ලබා දෙනු ඇත.
ඉන්දියානු අභ්‍යවකාශ පර් යේෂණ සංවිධානය (ඉස්රෝ) පවසා ඇත්තේ රෝවරය තත්ත්පරයට සෙ.මී. 1 ක තරම් වේගයෙන් චලනය වන බවයි. සඳ මත ඉදිරියට යන සෑම පියවරකදීම එය එහි කැරුකෙන රෝද හයේ ඔබ්බවා සටහන් කර ඇති ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ලාංඡනය සඳ මතුපිට සටහන් කරනු ඇත.
පූර්ණ චන්ද්‍ර දහවලක් පුරා සූර්යය බලයෙන් ක්‍රියාත්මක ලෑන්ඩරය සහ රෝවරය සඳ මත පරීක්ෂණ මෙහෙයවනු ඇත. සඳ මත දවසක් පෘථිවියේ සති හතරකට මඳක් සමාන වන අතර සති 2ක් දහවලය. එහෙයින්, ලෑන්ඩරයට සහ රෝවරයට ඔවුන්ගේ බැටරි ආරෝපණය කිරීම සඳහා පෘථිවි දින 14ක් හිරු එළිය ලැබෙනු ඇත. මේ අනුව රාත්‍රිය උදා වූ පසු, ඔවුන් විසර්ජනය වී වැඩ කිරීම නවත්වනු ඇත. ඊළඟ චන්ද්‍ර දිනයේ දහවල ආරම්භ වන විට ඔවුන් නැවත පණ ගසා වැඩ අරඹාවීද? - නැද්ද? යන්න තවමත් පැහැදිලි නැත.
සඳ මතුපිට සහ ඊට ඉහළින් සහ පහළින් සිදුවන දේ සොයා ගැනීමට උපකාර වන විද්‍යාත්මක උපකරණ කිහිපයක් ද වික්‍රම් මත රැගෙන ගොස් තිබේ. සඳෙහි වැදගත් ඛනිජ ලවණ පවතින බව සැලකෙන නමුත් චන්ද්‍රයාන්-3 හි ප්‍රධාන ඉලක්කයක් වන්නේ ජලය තිබේදැයි සෙවීමයි. විද්‍යාඥයන් පවසන්නේ දකුණු ධ්‍රුව කලාපයේ අඳුරු සෙවණැල්ලේ සැඟව පවතින විශාල ආවාට අසල ප්‍රදේශ අනාගතයේදී සඳ මත මිනිස් වාසයට වඩාත් සුදුසු විය හැකි බවයි.
ඒ තුළ ඇති මිදුණු ජලය අඟහරු ග්‍රහයා සහ අනෙකුත් දුර ගමනාන්ත වෙත යන අභ්‍යවකාශ යානා සඳහා ප්‍රචාලක ඉන්ධන සහ ඔක්සිජන් ලෙස හරවා භාවිතයට මෙන්ම මිනිස් ජනාවාස සදහා ප්‍රයෝජනයට ගැනීමටද වැදගත් වනු ඇත.
කඩා වැටුණු රුසියානු යානය තරග වැදුණේද සඳ මතුපිට ඇති මේ මිදුණු ජලය ගැන ඔත්තුව කලින්ම ලබාගන්නටය. ඒ අනුව ඉහළ මට්ටමේ පර් යේෂණ උපකරණ 8ක් රැගෙන ගිය Luna-25 තාප විද්‍යුත් උත්පාදක යන්ත්‍රයකින් (RTG) බලගැන්වී අවම වශයෙන් වසරක්වත් සඳ මත ක්‍රියාත්මක වීමට සමත් වූ යානයකි.
නව ගෝලීය උනන්දුවක කේන්ද්‍රස්ථානය බවට මෑතක සිට සඳ පත්ව ඇත. ඒ නිසාම විවිධ රටවලින් යොමූ කෙරූ අභ්‍යවකාශ යානා සමූහයක් පසු කාලයේ සඳ දෙසට සංචාරය කැරිණි. ඒ බොහොමයක්ම රොබෝ ගොඩබෑම්කරුවෝ විය. නමුත් ඒ අතරින් මේ සියවසේ මේ දක්වා සාර්ථකව සඳට ගොඩ බැසීමට සමත්ව තිබුණේ චීනය පමණි. (Chang’e 3, 4 සහ 5 මෙහෙයුම් සමඟ). නමුත් ඒ ගමන් හැම එකක්ම සමකය ආසන්නය කරා සිදු වූ ඒවාය. එම චීන රොබෝ යානා මෙන් නොව, ඉන්දියාවේ සහ රුසියාවේ නව සඳ තරණ උත්සාහයන් මෙතෙක් කවුරුත් නොගිය චන්ද්‍ර දක්ෂිණ ධ්‍රුවය ඉලක්ක කර තිබීම කලින්ම කීවාක් මෙන් මෙම ගමන් වාරයේ තිබූ විශේෂත්වයයි.
මේ නිසාම ප්‍රථමයෙන් ගොඩබසිනු ලබන්නේ කුමන යානාවද යන්න පිළිබඳව ලෝකය පුරා පැතිර තිබුණේ දැඩි කුතුහලයකි. එමෙන්ම ඒ සඳහා දෙරට අතර සීතල තරගයක් ද පැවතිණි. බොහෝ දෙනා සිතුවේ වඩා පළපුරුදු රුසියාව මේ ජයග්‍රහණය ළඟා කර ගනීවි කියාය. ඒ අතරම මෙම යානා 2 මෘදු, ආරක්ෂිත ගොඩබෑමක් සිදු කරයිද? නැතිනම්, දුෂ්කර ගැටුමක් සහිතව හෝ කඩා වැටීමකින් හෝ මෙහෙයුම අවසන් කිරීමට සිදුවේද? යන්න ගැන ලෝකයේම ඇස් සැක සහිතව යොමුව තිබුණි. අන්තිමේ රුසියානු යානය අරභයා මේ සැකය සනාථ විය.
රුසියාව සෝවියට් යුගයෙන් පසු මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන තුරු නැවත සඳ මත ගොඩ බැසීමට උත්සාහ ගෙන තිබුණේ නැත. අවසාන සෝවියට් චන්ද්‍ර මෙහෙයුම වූයේ වසර 47 කට පෙර දියත් කරන ලද Luna-24 ය. රුසියාවේ මෑතකාලීන අවසාන අන්තර් ග්‍රහලෝක මෙහෙයුම වූයේ, අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයා වන Phobos වෙතින් සාම්පල එකතු කිරීම අරමුණු කර පිටත් කළ, Fobos-Grunt, මෙහෙයුමයි. නමුත් 2011 දී පිටත් කළ එය පහත් පෘථිවි කක්ෂයෙන් පිටතට යාමට පවා අපොහොසත් විය.
ඒ අනුව මේ Luna-25 දශකයකට වැඩි කාලයක් ප්‍රමාද වී සීරුවෙන් සැලසුම් කර ගිය ගමනකි. අන්තිමේ එයත් කඩා වැටිණි. ඒ අනුව අභ්‍යවකාශ තරණ ක්ෂේත්‍රයේ ආධුනිකයකු වූ ඉන්දියාව මේ තරගය ජයගෙන ඉතිහාසයේ සිය නම සටහන් කරන්නට සමත් විය.
I සුගත් පී. කුලතුංගආරච්චි