ඔස්ට්‍රේලියාවේ කලකට පෙර සිදු කළ අමුතු සොයාගැනීමක් ගැන පසුගිය සතියේ එළියට ආ විද්‍යාත්මක වාර්තාවක් මගින් ලෝකය කළඹන ආන්දෝලනාත්මක පුවතක් වාර්තා විය. ඒ වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවට මිනිස් මොළයට ඇතුළු වී සිටි පණුවෙක් සොයාගැනීමේ පුවතයි.
64 හැවිරිදි කාන්තාවක් වසරකට පෙර, උදර වේදනාව, පාචනය, වියළි කැස්ස සහ රාත්‍රී දහඩිය ඇතුළු රෝග ලක්ෂණ සහිතව අග්නිදිග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඇය මාස තුනක කාලයක් තිස්සේ අමතක වීම සහ මානසික අවපීඩනය උග්රවීම හේතුවෙන් කැන්බරා හි රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේ සිදු කළ ස්කෑන් පරීක්ෂණවලින් ඇයගේ මොළයේ වෙනස්කම් පෙන්නුම් කර ඇත.
මේ අනුව මොළයේ බයොප්සි පරීක්ෂාවක් සඳහා ඇය කැඳවා තිබුණි. රෝහලේ ශල්‍ය වෛද්‍ය හරිප්‍රියා බන්ඩි පිළිකාවක් හෝ විවරයක් අනාවරණය වනු ඇතැයි අපේක්ෂාවෙන් හිස් කබල විද කුඩා සිදුරක් හරහා පරීක්ෂාව කරද්දී සෙන්ටිමීටර් 8 ක් හෝ අඟල් 3 ක් දිගැති සජීවී පණුවකු මොළය තුළ සිටිනු හමුව තිබේ. මේ අවස්ථාවේ රෝහලේ සිටි බෝවන රෝග සම්බන්ධ වෛද්‍ය සංජය සේනානායකද මෙතැනට ගෙන්වා මේ දුර්ලභ සංසිද්ධිය ගැන පරීක්ෂා කර ඇත. ඔවුන් දෙදෙනා පසුව මේ ගැන journal Emerging Infectious Diseases සඟරාවේ නවතම සංස්කරණය වෙත පර් යේෂණ වාර්තාවක් යවා තිබුණි.
මෙම සත්වයා ඔෆිඩස්කාරිස් රොබට්සි නම් වූ මානව පරපෝෂිතයකු ලෙස කලින් නොදැන සිටි ඔස්ට්‍රේලියානු ස්වදේශික වටකුරු පණුවකුගේ කීටයෙක් විය. මේ පණුවන් බහුලව දක්නට ලැබෙන්නේ කාපට් පිඹුරන් තුළය. මෙම කාන්තාව කාපට් පිඹුරන්ගේ වාසස්ථානයක් අසල ජීවත් වන අතර ආහාර පිසීමට Warrigal greens ලෙස හඳුන්වන දේශීය කොළ මැල්ලුම ආහාර සඳහා යොදා ගත් අයෙකි. මේ පිඹුරන්ගේ අසූචි තුළ මෙම ඔෆිඩස්කාරිස් රොබට්සි බිත්තර තිබෙන්නට ඇති බවත් අපිරිසුදු ආහාර හෝ ජලය හෝ ආශ්‍රිතව මේ ද්‍රව්‍ය ශරීරගත වන්නට ඇති බවත් වෛද්‍යවරු සැක කරති. කෙසේ වුවද මිනිසා තුළින් මෙන්ම වෙනත් ක්ෂීරපායින් තුළින්ද මේ පරපෝෂිතයකු හමුවූ මුල්ම අවස්ථාව මෙය බව වෛද්‍ය සංජය සේනානායක ප්‍රකාශ කර තිබුණි.