2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ඩොලර් 29කට හඳත් ඈවරයි!

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 130

ඉන්දීය ව්‍යාපාරිකයකු සඳෙන් අක්කරයක ඉඩම් කැබැල්ලක් මිල දී ගැනීම ගැන පුවතක් මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇතිකර තිබේ. මෙලෙස ස‍ඳෙන් ඉඩම් කැබැල්ලක් මිල දී ගෙන ඇති බව වාර්තා වන්නේ ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ 49 හැවිරිදි රූපෙෂ් මේසන් නැමැති ව්‍යාපාරිකයාය. චන්ද්‍රයාන්-3 සඳ ගමනේ සාර්ථකත්වයෙන් දින දෙකකට පසු මේ කුතුහලය පිරි පුවත මාධ්‍ය වෙත වාර්තා විය.

සඳෙහි ඉඩම් කට්ටි කර විකිණීම හෝ ඒ සඳහා හිමිකම් කියමින් ‘චන්ද්‍ර ඔප්පු‘ සකස් කිරීමට තවම කාටත් අයිතියක් හෝ ලෝක සම්මුතියක් බිහිව හෝ නැතත් සමහර ආයතන කාලයක සිට මේ ‘අහස් මාලිගාවන්ට’ ඔප්පු ලිවීමේ රාජකාරියට අත ගසා තිබේ. රූපෙෂ් මේසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිල දී ගෙන ඇත්තේ ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් මෙවැනි ආයතනයක් වන The Lunar Registry හරහාය. එම ආයතනය වෙතින් සඳෙහි ‘Lake of Happiness‘ ලෙස හඳුන්වා දෙනු ලැබූ විශේෂිත ප්‍රදේශයකින් රූපෙෂ් එම ඉඩම් කැබැල්ල මිල දී ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 29.07 කටය. ඒ සඳහා වන ඔප්පුව ඔහුට පසුගිය මස 25 වැනිදා ලැබුණු බවත්, ඒ සමඟම ඉඩම් කැබැල්ලේ චන්ද්‍රිකා ඡායාරූපයක් ද ලැබුණු බවත් ඔහු සඳහන් කර තිබේ. වාර්තාගත අන්දමට ඉන්දියානු ජාතිකයන් ගණනාවක් මෙන්ම ලොව පුරා කීර්තිමත් පුද්ගලයන් 675 දෙනකු සහ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරැන් තිදෙනෙක් ද මීට පෙර සඳෙන් ඉඩම් කැබැලි මිල දී ගත් පුද්ගලයෝ අතර සිටිති.